28 C
Negombo
28 C
Negombo

මංජුල ලසන්ත උක්වත්තගේ CSC නේෂන් ලංකා ආයතනය පුණ්‍ය කටයුත්තක් ද? ‘බේබි ෆාම්’ එකක් ද?

-

Baby farm Sri Lanka

අනිසි ගැබ් ගැනීම්වලට මුහුණ දෙන කාන්තාවන් රඳවාගෙන, ඔවුන්ගේ දරුවන් බිහි වූ පසු හදා වඩා ගැනීම සඳහා වෙනත් අයට ලබා දෙන ‘CSC නේෂන් ලංකා’ නම් ආයතනයක් පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ මේ දිනවල දැඩි කතා බහක් ඇති වී තිබේ.

පුණ්‍ය ආයතනයක් ලෙස හඳුන්වන මෙහි ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම, අධ්‍යක්ෂකවරයා වන්නේ මංජුල ලසන්ත උක්වත්ත නැමැති පුද්ගලයෙකි.

මෙම ආයතනය දරුවන් අලෙවි කරන ‘බේබි ෆාම්’ එකක් බවට ඇතැමුන් චෝදනා කරන නමුත් මංජුල උක්වත්ත කියා සිටින්නේ තමන් සිදු කරන්නේ “පුණ්‍ය ක්‍රියාවක්” බවය.

CSC නේෂන් ලංකා පුණ්‍ය ක්‍රියා රාශියක් සිදු කරන ආයතනයක් ලෙස සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අති විශාල ප්‍රචාරයක් ලබා දීමට ද මංජුල උක්වත්ත ක්‍රියා කරමින් සිටියි.

“අසරණ වූ ගර්භණී කාන්තාවන්ට පිහිට වන” ආයතනයක් ලෙස ෆේස්බුක් හි මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් ද නිරන්තරයෙන් දැක ගත හැකිය. ආයතනයේ ෆේස්බුක් ගිණුමේ 64,000කට අධික පිරිසක් සිටින අතර, ඔවුන් බොහෝ දෙනෙකු මෙම ආයතනයෙන් සිදු කරන ක්‍රියාවන් අනුමත කරන බවක් පෙනෙන්නට ඇත.

“මේ පුද්ගලයා සිදු කරන්නේ නීත්‍යානුකූල දෙයක් ද නැද්ද කියන එක හරියට ප්‍රකාශ කරන්නේ නැහැ. කොහොම වුණත් මව්වරුන්ගේ, දරුවන්ගේ පින්තූර හැමතැනම අසීමිත විදිහට ප්‍රචාරය කරගෙන ගෙනියන මේ වැඩපිළිවෙල සම්පූර්ණ සමාජ විරෝධීයි. ඒ වගේම යම් කෙනෙක් මේ ක්‍රියාවේ නීත්‍යානුකූල බව ප්‍රශ්න කළ සැණින් එයාට අසාමාන්‍ය ලෙස මඩ එල්ල වෙලා, සමාජ මාධ්‍ය ජාල ගිණුම් පවා බ්ලොක් වෙනවා. මේක සංවිධනාත්මක මාෆියාවක් වගේ පෙනෙනවා,” කොළඹ ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියක පැවසීය.

Baby farm Sri Lanka

යම් පුද්ගලයෙකු CSC නේෂන් ලංකා ආයතනයේ නීත්‍යානුකූල බව ප්‍රශ්න කළ විට, එම තැනැත්තා මතු කරන ප්‍රශ්නය ඉතා සුළු වේලාවක් ඇතුළත ඉවත් කෙරෙන අතර, විවේචනය ඉදිරිපත් කරන සමහර කාන්තාවන්ගේ ෆේස්බුක් පිටු තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කිරීම ගැන ද අදාළ ආයතනයට චෝදනා එල්ල වී තිබේ.

මේ හේතුවෙන්, බොහෝ දෙනෙක් සිය අදහස් දැක්වූව ද නම හෙළි කිරීමට අකමැත්ත පළ කළහ.

CSC නේෂන් ලංකා සිදු කරන්නේ කුමක් ද?

මංජුල උක්වත්ත හඳුන්වා දෙන පරිදි CSC නේෂන් ලංකා යනු “ආධ්‍යාත්මික සමාජයක් සඳහා වන සාමාජීය පරිවර්තනයේ ජාතික ආයතනයකි.” මෙම ආයතනයේ ක්‍රියාකාරිත්වය ගැන මෙන්ම ඔහුට එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් පළ කළ යූ ට්යුබ් සහ ෆේස්බුක් වීඩියෝ ද විශාල ප්‍රමාණයක් දැකගත හැකිය.

“මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අනිසි ලෙස ගැබ් ගෙන දුක් විඳින ගර්භණියන් ආරක්ෂා කරළා, ඒ අයට උපදින දරුවන් මේ රටේ ස්ථාපිත නීතියට අනුව, ඒ මවගේ කැමැත්ත තියෙනවනම්, අපි ඒ දරුවා දාරක ස්නේහය තිබෙන ආදරණීය දෙමාපියන්ට ඒ දරුවන් හදා ගන්න දෙනවා,” යනුවෙන් මංජුල උක්වත්ත සිය නිවේදනවල සඳහන් කරයි.

Baby farm Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,මංජුල ලසන්ත උක්වත්තට විශ්වක්‍රීර්ති දේශමාන්‍ය යන ගෞරව නාම ද ඇත

මෙම පුණ්‍ය ආයතනය පවත්වාගෙන යෑමට එංගලන්තය, ස්වීඩනය ඇතුළු රටවල් රාශියක ශ්‍රී ලාංකිකයන් ආධාර ලබා දෙන බව ද එහි දැක්වේ.

“මතක තබා ගත යුතු කාරණය වන්නේ මේ වැඩපිළිවෙළ ලංකාව තුළ විතරක් නෙමෙයි ලෝකයේම ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව. ගර්භණියන් සුරක්ෂිත කරමින් ගබ්සා වන්නට තිබුණ කළල ආරක්ෂා කර ජාතියේ අනාගතය වෙනුවෙන් ඒ දරුවන් උපද්දවා මව සහ දරුවා දෙන්නගෙම ජීවිත සුඛිත මුදිත තත්වයට පත් කිරීමයි අපේ අරමුණ.”

ආයතනයේ ක්‍රියාදාමයට බෞද්ධ භික්ෂූන් පිරිසක් ද සම්බන්ධ කරගෙන ඇති අතර, රාජ්‍ය අනුමැතිය සමග අදාළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ඔහු නිරන්තරයෙන් පවසයි.

ඔහුට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසීම පිණිස මංජුල උක්වත්ත ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක්ම උත්සහ කළ නමුත් ඔහු දුරකතනයට පිළිතුරු දුන්නේ නැත.

අනිසි ගැබ් ගැනීමට ලක් වූ බව පවසන කාන්තාවන් සිදු කරන හෙළිදරව් මෙන්ම දරුවන් හදා ගැනීමට ලබා දීමේ දී පවත්වන උත්සවවල සේයාරූප සහ වීඩියෝ ද සමාජ මාධ්‍ය ජාල තුළ බහුලව දැකිය හැකිය.

මෙම ක්‍රියාවලිය පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්දැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නැඟුණු ප්‍රශ්නයකට වීඩියෝ ඔස්සේ පිළිතුරු දෙමින් මංජුල උක්වත්ත පවසන්නේ, ” මට විරුද්ධව පෙර වැරදි නැහැ. මම අපරාධ කරලා නැහැ. මගෙ නම පොලිස් පොත්වල ලියවිලා නැහැ. එහෙමනම් මම ඇයි පරිවාස දෙපාර්මේන්තුවෙ ලියාපදිංචි වෙන්නෙ? මම හොඳ මනුස්සයෙක්,” යනුවෙනි.

Baby farm Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,“දරුවන් උපද්දවා මව සහ දරුවා දෙන්නගෙම ජීවිත සුඛිත මුදිත තත්වයට පත් කිරීමයි අපේ අරමුණ”

CSC නේෂන් ලංකා ආයතනයේ ‘දස අවුරුදු සැලැස්මක් ද’ එළිදක්වා තිබිණි. ඒ අනුව, 2020 සිට 2030 දක්වා “කාරණා හතක් මුල් කරගෙන රට තුළ අධ්‍යාත්මික පරිවර්තනයක් ඇති කිරීම” ඔවුන්ගේ බලාපොරොත්තුව බව සඳහන් වේ.

එම කරුණු හත වන්නේ:

  • හුස්මට සවියක් මිහිකතට සවියක්.
  • සංඝ සාසනය තුළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ප්‍රමාණය ලක්ෂයක් දක්වා වර්ධනය කිරීම.
  • ශ්‍රී ලංකාව තුළ අනිසි ගැබ් ගැනීම වළක්වා ගැනීම සහ අනිසි ගැබ්ගත් කළල දරුවන් සුරක්ෂිත කිරීමේ වැඩ පිළිවෙල.
  • සමාජ මාධ්‍ය ජාල අවභාවිතයෙන් ගලවා ගැනීමේ වැඩපිළිවෙල.
  • ශ්‍රී ලංකාව තුළ පවුල් කුඩුම්භය ආරක්ෂා කිරීම.
  • වීදි සරණ දෙමාපිය සුරක්ෂාව.
  • ශ්‍රී ලංකාව තුළ අධ්‍යාත්මික මිනිසුන් ගොඩනැගීම.

CSC නේෂන් ලංකා ආයතනය ගැන අදහස් දක්වමින් කොළඹ පදිංචි චම්පිකා පැවසුවේ, “මේක නීත්‍යානුකූල වුණත් නැතත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔය රැඩිකල් කියල හිතාගෙන ඉන්න අය තමයි මේ අකුල් හෙළන්නේ. මීට වඩා නීත්‍යානුකූල නොවන දේවල් අපේ රටේ ඕනෑ තරම් වෙනවා. ඒ හින්දා මේ ආයතනයෙන් කරන මේ පුණ්‍ය ක්‍රියාවට අකුල් හෙලන්න එපා. මේ මනුස්ස ලෝකයේ ඉපදෙන්න ඉඩකඩ ලබලා දෙනවා කියන එක ලේසි පහසු පුණ්‍යකර්මයක් නෙවෙයි. මේ වැඩපිලිවෙලට අකුල් හෙලමින් පව් සිදුකර ගන්න එපා. වෙන දෙයක් බලා ගෙන පාඩුවේ ඉන්න,” යනුවෙනි.

රටේ නීතිය කුමක් ද?

ස්වභාවික දෙමාපියන් හැර වෙනත් විවාහක හෝ අවිවාහක පුද්ගලයන් දරුවෙකු දරු කමට හදා වඩා ගැනීම ‘දරුවන් කුලවද්දා ගැනීම’ යන්නෙන් අදහස් වන අතර, ඊට අදාළ නීතිය 1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනතේ සඳහන් වන බව නීතීඥ මදුෂි කොස්වත්ත බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.

Baby farm Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,නීතීඥ මදුෂි කොස්වත්ත

“මේ සම්බන්ධයෙන් දරුවා වගේම ඒ දරුවා හදා ගන්න අය සපුරාලිය යුතු අවශ්‍යතා කීපයක් පනතේ සඳහන් වෙනවා. ප්‍රායෝගිකව සිදු විය යුත්තේ, අධිකරණය හරහා පෙත්සමක් ගොනු කරළා ඉල්ලුම්කාර පාර්ශවය විදිහට දරු කමට හදා ගන්න ඉල්ලන යුවල හෝ තනි පුද්ගලයා සඳහන් කරන්න ඕනේ. එහි වගඋත්තරකරුවන් විදිහට දරුවාගේ නම සඳහන් කළ යුතුයි. ඊට අමතරව දරුවාගේ ස්වභාවික මව සහ පියාගේ කැමැත්ත අනිවාර්යයෙන් තිබිය යුතුයි,” ඇය සඳහන් කළාය.

“ඊට අමතරව රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුව සහ දරුවට අදාළ පරිවාස නිලධාරීන්ව වගඋත්තරකරුවන් ලෙස නම් කරළා, ඒ අයගෙන් කැමැත්ත විමසලා, දරුවාගේ උපරිම යහපත කියන සංකල්පය මත අධිකරණය තීරණයක් ලබා දෙනවා,” යැයි නීතීඥවරිය පැවසුවාය.

1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනත ප්‍රකාරව දරුවෙක් දරුකමට හදා ගැනීමේදී සපුරාලිය යුතු අවශ්‍යතා:

  • දරුකමට හදා ගැනීමට බලාපොරොත්තු වන දරුවා වයස අවුරුදු 14 ට අඩු විය යුතුය.
  • වයස අවුරුදු දහයට වැඩි දරුවෙක් දරුකමට හදා ගැනීමට ගැනීමේදී, අධිකරණය දරුවාගේ කැමැත්ත විමසනු ඇත.
  • දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරන පාර්ශවය, එනම් යුවල හෝ තනි ‍පුද්ගලයා අවුරුදු 25 සම්පුර්ණ කර තිබිය යුතුය.
  • දරුකමට හදා ගැනීමට ගන්නා පාර්ශවය සහ දරුවා අතර වයස පරතරය අවුරුදු 21 ට වැඩි විය යුතුය. නමුත් අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් කෙලින්ම පැවත එන්නෙක් වන විට හෝ ඉල්ලුම්කරුගේ පුර්ණ හෝ අර්ධ සහෝදරයෙක් හෝ සහෝදරියක් වන විට හෝ ඔවුන්ගෙන් පැවත එන්නෙක් වන විට හෝ ඉල්ලුම්කාර පාර්ශවයේ සැමියාගේ හෝ බිරිඳගේ වෙනත් විවාහයක දරුවකු වන විට ඔවුන් අතර තිබිය යුතු අවුරුදු 21 වයස් පරතරය අත්‍යවශ්‍ය නොවේ.
  • ගැහැණු දරුවෙකු දරුකමට හදා ගැනීමේදී ඉල්ලුම් කරන පාර්ශවය තනි පිරිමි පුද්ගලයෙකු නම්, ඔහුට ඒ සඳහා අධිකරණයෙන් අවසර නොලැබේ.vකෙසේනමුත්, විශේෂ ඥාති සම්බන්ධතා මත අවසර ලබා දීමට අධිකරණයට අභිමතයක් තිබේ.
  • යුවලක් විසින් ඉල්ලුම් කරන විටෙක, දරුවා හදා ගැනීමට දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය වේ. නමුත්, ඔවුන් දික්කසාද වී සිටී නම් හෝ එක් පාර්ශවයක් සොයාගත නොහැකි නම් හෝ කලත්‍රයා මානසික ආබාධයකින් පසුවෙයි නම්, දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය නොවේ.
  • දරුවෙක් හදාගැනීමට ගැනීමක දී, ඔහුගේ/ ඇයගේ ස්වාභාවික දෙමවුපියන්ගේ කැමැත්ත ලබාගැනීම අනිවාර්ය වේ. දරුවාගේ දෙමව්පියන් විවාහක නම් දෙමාපිය දෙදෙනාගේම කැමැත්තද, අවිවාහජ දරුවෙකු නම් (පියෙකු නොමැති නම්) මවගේ කැමැත්ත ද අවශ්‍ය වන අතර, භාරකරුවෙක් යටතේ දරුවා සිටින විටෙකදී, එම භාරකරුගේ කැමැත්ත ද අවශ්‍ය වේ.
  • නමුත් මෙසේ කැමැත්ත ලබාගත යුතු පුද්ගලයා දරුවාව අත හැර ගොස් සිටී නම් හෝ දරුවා නඩත්තු කිරීම පැහැර හැර ඇත්නම් හෝ සිහි විකල් වූවෙක් නම්, ඔහුගේ/ ඇයගේ කැමැත්ත විමසීමක් අවශ්‍ය නොවන අතර දිසා අධිකරණයට දරුවා පිළිබඳ තීරණයක් ගත හැකි වේ. දිසා අධිකරණය දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් සැළකීම මීට හේතු වේ.
  • දරුවෙකු හදා ගැනීමට ගැනීම සම්බන්ධයෙන් දරුවාගේ ස්වභාවික දෙමව්පියන් හෝ භාරකරු වෙත මුදලක් හෝ ත්‍යාගයක් ගනුදෙනුවක ආකාරයෙන් ලබා දීම දීම හෝ දීමට පොරොන්දු විය නොහැක.
  • දරුවා හදාගැනීමට ගැනීමෙන් පසුව දරුවාට නමක් යෝජනා කිරිමට කුලවද්දා ගත් දෙමාපියන්ට හැකි අතර, කුලවද්දා ගත් පියාගේ පෙළපත් නාමය දරුවාට ලබා දිය හැකිය.
Baby farm Sri Lanka

දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය යනු කුමක්ද?

දරුකමට හදා ගැනීමේ ආඥා පනතේ 4 වන වගන්තිය, දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් විස්තර කර ඇත.

දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් හඳුන්වන්නේ දිසා අධිකරණය වන අතර, දරුවා කුලවද්දා ගැනීමට අදාළ නියෝගය ප්‍රකාශ කිරීමට පෙර දරුවා හදාගැනීමට දීමෙන් ඔහු හෝ ඇයගේ උපරිම යහපත සැලසී ඇත්ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය.

මෙහිදී මූලික වශයෙන් සලකා බලන කරුණු නම්:

  • දරුවාගේ කායික සහ මානසික යහපත
  • දරුවාගේ සෞඛ්‍යමය යහපත
  • දරුවාගේ මුල්‍යමය තත්වයට අදාළ කරුණු
  • දරුවාගේ සදාචාරාත්මක පැවැත්මට අදාළ කරුණු

“තනි පුද්ගලයෙකුට දරුවෙක් හදා ගන්න පුළුවන් කියලා පනතේ තිබුණට, අධිකරණයෙන් ඒකට අවසර දෙන්නෙම නැති තරම්. කොහොම වුණත්, දරුවන් කුලවද්දා ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ පවතින්නේ යල් පැනගිය නීතියක්. 1940 ගණන්වලට අදාළ මේ නීතිය අනිවාර්යයෙන් සංශෝධනය විය යුතුයි,” නීතිඥ මදුෂි කොස්වත්ත පැවසීය.

“මේ නීතියේ සෑහෙන හිඩැස් තියෙනවා. ඒ හිඩැස්වල තමයි CSC නේෂන් ලංකා වගේ ආයතන එල්ලිලා ඉන්නේ. මේ යල් පැනගිය නීති නිසා ඇත්තටම දරුවෙකුගේ අවශ්‍යතාව තියෙන යුවලකට දරුවෙකු හදාගන්න එක අමාරු වෙන අවස්ථා අපි අත්දැක තියෙනවා.”

Baby farm Sri Lanka

ළමා නිවාසවල සිටින දරුවන් කුලවද්දා ගැනීම සිදුවන්නේ කෙසේද?

ළමා නිවාසවල සිටින දරුවන් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ අදාළ පළාතේ ළමා හා පරිවාස කොමසාරිස්වරයාටය.

  • ඒ අනුව, ළමා නිවාසයක සිටින දරුවෙකු හදා ගැනීමට ඉල්ලුම් කිරීමේ දී ප්‍රථමයෙන් අවසර ලබා ගත යුත්තේ පරිවාස හා ළමා කොමසාරිස්වරයාගෙනි. ඒ සඳහා අදාළ ළමා නිවාසය පිහිටි බල ප්‍රදේශයේ ළමා හා පරිවාස කොමසාරිස්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකළ යුතුය.
  • මෙහි දී ඉල්ලුම්කාර පාර්ශවය නිත්‍යානුකුලව විවාහ වී සිටීම අවශ්‍ය වන අතර, ඔවුන් අදාළ අධිකරණ බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් විය යුතුය.
  • පිරිමි ඉල්ලුම්කරුවන්ගේ වයස අවුරුදු 25ත් 55ත් අතර විය යුතු අතර, කාන්තා ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 25 ත් 50 ත් අතර විය යුතුය.
  • අදාළ පාර්ශවයට දරුවෙකු හදා ගැනීමට සරිලන ආර්ථික තත්වයක් පවතින බව ඔප්පු කළ යුතුය.
  • ඔවුන් හොඳ කායික සහ මානසික යහ පැවැත්මෙන් යුක්ත බව පෙන්වා දිය යුතුය.
  • ඔවුන්ට දරුඵල නොමැති බව වෛද්‍ය සහතිකයකින් පෙන්වා දී තිබිය යුතුය.
  • දරුවාගේ සුභසාධනය වෙනුවෙන් දරුවාගේ නමින් බැංකු ගිණුමක් අරඹා පවත්වා ගෙන යාමේ කොන්දේසියට ද අදාළ පාර්ශවය එකඟ විය යුතුය.

දරුවෙකු කුලවද්දා ගැනීමට ගැනීම සඳහා අධිකරණයෙන් තාවකාලික ආඥාවක් පමණක් නිකුත් කර තිබෙන අවස්ථාවක, දරුවා නැවත ළමා නිවාසයට භාරදීමේ හැකියාව ඇති නමුත්, අධිකරණය මඟින් ස්ථිර ආඥාවක් නිකුත් කළ පසුව එසේ කළ නොහැකිය.

“නීතියේ තියෙන යම් දුර්වලතා නිසා, ළමා නිවාසයකින් දරුවෙක් හදා ගන්න ඉල්ලනකොට පරිවාස නිලධාරීන් හරි ඉක්මනට ඒ ක්‍රියාවලිය සම්පූර්ණ කරන තත්වයක් තියෙනවා. ඒ වගේ දේවල් CSC නේෂන් ලංකා වගේ ආයතනවලට වාසි සහගත වෙලා තියෙනවා.”

“ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම තහනම් වීම යන කාරණය මත, සමහරවිට ඔවුන් මේ සිදුකරන්නේ හොඳ දෙයක් වෙන්න පුළුවන්, නමුත් මංජුල කියන පුද්ගලයා මේ ලබා දෙන අනවශ්‍ය ප්‍රචාරය දැක්කාම ඕනෑම කෙනෙකුට සාධාරණ සැකයක් මතු වෙනවා,” නීතිඥවරිය තවදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ගබ්සා නීතිය

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජිවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි.

Baby farm Sri Lanka

ගබ්සා කිරීම සම්බන්ධයෙන් පවතින දැඩි නීති හේතුවෙන්, ස්ත්‍රී දූෂණ, කළලයේ බරපතළ විකෘතිතා, පවුල් සැලසුම් ක්‍රම අසාර්ථකවීම, ව්‍යභිචාර වැනි අවස්ථාවලදී ඇතිවන ගැබ් ගැනීම් ඉවත් කිරීමට නොහැකි නිසා කාන්තාවන් විශාල ගැටළු රැසකට මුහුණ දෙන තත්වයක් දැකිය හැකිය.

දියුණු රටවල මෙන් ශ්‍රී ලංකාව තුළ තනි මවකට දරුවෙකු හදා වඩා ගැනීමට රජයෙන් සහයක් නොලැබෙන අතර, සමාජයෙන් එල්ල වන පීඩනය අන් සියල්ලට වඩා අසීරුය.

ගබ්සා නීතිය ලිහිල් කරන ලෙස කාන්තා සංවිධාන, වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනෙක් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් කළ නමුත් ඒ සෑම අවස්ථාවකම ආගමික නායකයන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කිසිදු රජයක් එම ඉල්ලීම් ක්‍රියාත්මක කළේ නැත.

මේ අතර, ලොව පුරා රටවල් ගණනාවක ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කර තිබේ.

“ඉවරයක් නැති අපහාස, හැබැයි…..”

තනි මවක ලෙස වසර 11ක් පුරා සිය දරුවා හදා වඩා ගත් මවක බීබීසී සිංහල සේවය සමග සිය අත්දැකීම් බෙදාගත්තාය. රෙදි සාප්පුවක වෙළෙඳ සහායිකාවක ලෙස රැකියාවක නිරත වන ඇය සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති විය.

“මම ආදරය කරපු කෙනාගෙන් දරුවෙක් ලැබුණා. එයා මාව කසාද බැන්දේ නැහැ. මට වයස 23 දී දරුවා ලැබුණේ. කිසිම හව් හරණක් තිබුණේ නැහැ මට. හැබැයි එහෙම කියලා මගේ දරුවා කාටවත් දෙන්න ගියේ නැහැ,” ඇය පැවසුවාය.

ඇයට මෙන්ම දරුවාට ද සමාජයෙන් අනේක නින්දා අපහාස විඳීමට සිදු වී ඇති අතර, දරුවා පාසලකට ඇතුළත් කිරීමේ දී පවා විශාල ගැටළු රැසකට මුහුණ දීමට සිදුව තිබේ.

“මාව පවුලේ අය පවා එළවල දැම්මා. රස්සා කළත් ඒවගේ ඉන්න මිනිස්සු කරන අපහාස සහ අයුතු ප්‍රයෝජන ගන්න හදන අවස්ථා ඉවරයක් නැහැ. හැබැයි, මට සහ දරුවට උදව් කරපු සහ අදටත් උදව් කරන මිනිස්සුත් සෑහෙන්න ඉන්නවා.”

“හැබැයි, මම අදටත් කොහොමහරි දරුවා හදාගෙන ජීවත් වෙනවා. දියුණු රටවල මම අහලා තියෙනවා තනි අම්මලට සෑහෙන දීමනා ලැබෙනවා කියලා දරුවා වෙනුවෙන්. ඒකට අපේ රටේ සලකන්නේ මේක මහා අපරාධයක් විදිහට.”

Baby farm Sri Lanka

“ඔය ෆේස්බුක් එකේ කියන ආයතනවලට ගිහින් හැංගිලා දරුවෝ බිහි කරලා දරුවා කාටහරි දෙන්න අවශ්‍ය නැහැ. දරුවෝ සහ තනි අම්මලා වෙනුවෙන් මේ රටේ හොඳ වැඩපිළිවෙලක් තිබුණනම් හරි. දරුවෙක් බිහි වෙන්න දෙන එක පුණ්‍යකර්මයක් කියන මිනිස්සුම තමයි අනික් අතට ඒ දරුවටයි, අම්මටයි නොසෑහෙන්න ගරහන්නේ.”

“ඒ ගැරහිලිවලට බයෙන් හංගලා දරුවෝ බිහි කරළා, දරුවාගේ ලේ උරුමේ මකලා දාන එකයි ලොකුම පාපය කියලා මේ සමාජය දැනගන්නකොට හුඟක් පරක්කු වැඩි වෙයි,” ඇය ඉතා ආවේගශීලීව පැවසුවාය.

මේ අතර, උනේකා ලක්මිණි අබේරත්න, CSC නේෂන් ලංකා ආයතනය ගැන ෆේස්බුක් ඔස්සේ සිය අත්දැකීම් බෙදා ගනිමින් පවසා ඇත්තේ, “විවාහයට පෙර හෝ පසු ගැබ් ගත්තොත් දරුවා හදනවද ,නැත්ද කියන එක තීරණය කරන්නෙ දෙමාපියෝ. විශේෂයෙන් අවිවාහක ගැබ් ගැනීම් වලදි දරුව බිහිකරනවද නැත්ද කියන එක ඒ ගැබ දරණ කාන්තාවගෙ ජීවිතය සම්බන්ධ සංකීර්ණ කාරණාවක්. මේ පුද්ගලයා කොහොමද බල කරන්නෙ දරුවෝ උපද්දල එයාට දෙන්න කියල,” යනුවෙන් සඳහන් කර තිබුණි.

“ඔය වගෙ අවස්ථාවල කරන්න ඕන අතරමැදියෙක් වෙලා දරුවො කාටහරි දෙන එක නෙමේ. ඒ අදාල කාන්තාව, single parent කෙනෙක් හැටියට අභිමානයෙන් කටයුතු කළ හැකි අන්දමින් ඔසවා තැබීමට අවශ්‍ය ආකල්පමය පසුබිම සකස් කරන එකයි. දරුව හදාගන්න දෙන්න අවශ්‍ය නම් නීත්‍යානුකූල ක්‍රමයක් තියෙනවනෙ රටේ” යනුවෙන් ද ඇය එහි සඳහන් කරන්නීය.

ශ්‍රී ලංකාවේ ‘බේබි ෆාම්’

1980 වසරවල දී දරුකමට හදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ උපත ලැබූ ළදරුවන් දහස් ගණනක් වංචනික ලෙස විවිධ රටවලට විකුණා ඇති බව 2017 දී නෙදර්ලන්ත වාර්තා චිත්‍රපටයකින් හෙළිදරවු කර තිබිණි.

මෙය ශ්‍රී ලංකා බලධාරීන් පිළිගත් අතර, ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවට එවක රජය ප්‍රකාශ කළේය.

මෙහිදී දරුවන් 11,000 ක් පමණ යුරෝපීය පවුල්වලට විකුණා ඇති අතර දෙපාර්ශවයටම ව්‍යාජ ලියකියවිලි ලබා දී ඇත.

එලෙස විකුණූ සමහර දරුවන් ‘බේබි ෆාම්වල’ උපත ලැබූ බව වාර්තා වේ. ඒ අතරින් දරුවන් 4,000ක් පමණ හදා වඩා ගැනීම සඳහා ලබාදී තිබෙන්නේ නෙදර්ලන්තයටය.

දරුකමට හදා ගැනීමට අවසර ලබා දුන් බලධාරීන් විසින් උප්පැන්න සහතික, දරුවන්ගේ නම් සහ ජීව විද්‍යාත්මක දෙමව්පියන්ගේ අනන්‍යතාවය ඇතුළුව සියලු ආකාරයේ ලියකියවිලි ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට සාක්ෂි හමු වූ බව නෙදර්ලන්ත වාර්තා චිත්‍රපටය වෙනුවෙන් පරීක්ෂණ සිදු කළ කණ්ඩායමේ නොර්බට් රයින්ජන්ස් මේ සම්බන්ධයෙන් 2017 දී බීබීසී සේවයේ පළවූ ලිපියට සිය අදහස් දක්වමින් පැවසීය.

Baby farm Sri Lanka

“සමහර අවස්ථාවල දරුවාගේ ජීව විද්‍යාත්මක දෙමව්පියන් ලෙස පෙනී සිටීමට විවිධ පුද්ගලයන්ට මුදල් පවා ගෙවා තිබුණා.”

සමහර රෝහල් සේවකයින් ද මෙම අපරාධ ජාලයට සම්බන්ධව කටයුතු කළ බවට වාර්තා චිත්‍රපටයෙන් චෝදනා නඟා තිබේ.

මතුගම රෝහලක නව මවුවරුන් කිහිපදෙනෙකුට තම දරුවන් උපතේ දී මියගිය බවට දන්වා, පසුව ඔවුන් හොර රහසේ දරුකමට හදා ගැනීම සඳහා විදේශයන්ට විකුණූ බවට ද වාර්තා විය.

1987 දී මෙවැනි ස්ථානයක් වටලා අලුත උපන් දරුවන් 20 දෙනෙකු සොයා ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ දරුවන් පිටරටක දරුකමට හදා ගැනීමට ලබා දීම තාවකාලිකව තහනම් කළේය.

එහි සිටි මව්වරුන් අඩි 10ක තාප්පයකින් වටකර තිබුණු “සිරගෙයක් වැනි” ස්ථානයක රඳවා සිට ඇත.

බීබීසී සිංහල සේවය 2017 දී මේ සම්බන්ධයෙන් පළ කළ ලිපියකට අදහස් දක්වමින්, සිය දරුවා ලබා දුන් දෙනියායේ පදිංචි එන් සිරිමාවතී පැවසුවේ, “මගේ එකම බලාපොරොත්තුව මගේ දුවගේ මුණ දැකගන්න එක. මම අදටත් දරුවා දුන්නු එක ගැන හිත හිතා අඩනවා. ඒ දවස්වල මහත්තයා මාව දාලා ගියා. නැති බැරි කම හින්දයි ළමය දෙන්න වුනේ,” යනුවෙනි.

Baby farm Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,එන් සිරිමාවතී

විදේශිකයෙකු ශ්‍රී ලංකාවේ දරුවෙකු කුලවද්දා ගැනීමට අදාළ නීති මොනවා ද?

විදේශීය රටක පුරවැසිභාවය හිමි අයෙකුට වුව ද ශ්‍රී ලංකාවේ දරුවෙක් කුලවද්දා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය. එහිදී පහත සඳහන් කරුණු අත්‍යවශ්‍ය වේ:

  • අදාළ දරුවා රජයේ ලියාපදිංචි අනාථ නිවාසයක සිටින දරුවෙක් විය යුතුය.
  • එම දරුවා තෝරා දීමේ කාර්යය පරිවාස හා ළමා කොමසාරිස් විසින් සිදු කළ යුතුය.
  • විදේශීය ඉල්ලුම්කරු සම්බන්ධයෙන් ඔහුගේ රටේ වගකිවයුතු ආයතනයකින් ලබාගත් පොලිස් වාර්තාවක්, ඔහුගේ වටපිටාව සම්බන්ධ වාර්තාවක් සහ එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් ලබාගත් වාර්තාක් ද ඉදිරිපත් කළ යුතුය.
  • විදේශිකයෙක් ශ්‍රී ලංකාවේ දරුවෙක් කුලවද්දා ගැනීමෙන් පසු එම දරුවාට වයස අවුරුදු 10 වන තෙක්ම සෑම සය මසකට වරක් දරුවා පිළිබඳ ප්‍රගති වාර්තා අදාළ ඡායාරූප ද සමඟ පරිවාස හා ළමා කොමසාරිස් වෙත එවිය යුතුය.

කෙසේනමුත්, 2011 වසරේ දී කොළඹට නුදුරු පළාතක පිහිටවා තිබූ ‘ප්‍රේම් නිවාසය’ නම් පුණ්‍ය ආයතනයකට විරුද්ධව නඩු පවරා තිබුණේ බාලවයස්කාර මව්වරුන් ගැන අදාළ නීති ආයතනවලට නොදැන්වීම සහ දරුවන් විකිණීම සම්බන්ධයෙනි.

නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවූ පරීක්ෂණවලින් පසු එම පුණ්‍ය ආයතනයේ ප්‍රධානී මේරි එලිසා කන්‍යා සොහොයුරිය නිදහස් කළ අතර, මව්වරුන් සහ දරුවන් සම්බන්ධ සියලු කටයුතු ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව ඔවුන් සිදු කරන බව තහවුරු විය.

Baby farm Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,‘ප්‍රේම් නිවාසය’ ඉදිරිපිට තනා තිබූ තෙරේසා මව්තුමියගේ පිළිමය

පැමිණිලි රැසක්

CSC නේෂන් ලංකා ආයතනයට සහ මංජුල උක්වත්තට විරුද්ධව මේ වන විට පැමිණිලි රැසක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

කෙසේ නමුත්, පවතින නීතිමය ගැටළු හේතුවෙන් මෙවැනි ක්‍රියාවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ යම් අපහසුතා පවතින බැවින් සියල්ලට ප්‍රථම නීති සංශෝධනය විය යුතු බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැවසීය.

BBCSINHALA

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content