31 C
Negombo
31 C
Negombo

ක්ෂුද්‍ර මුල්‍ය ආයතන හරහා ගැමි කාන්තාවන් සූරා කෑමකට ලක්වන බවට චෝදනා

-

“ණය මයත්තයා ගෙදරට එනකොට අපේ මහත්තයා එළියට යනවා. ණය මහත්තයා වාරිකය එකතු කරන්න එන දිනය සහ වේලාව දුරකථනයෙන් මට දැනුම් දෙනවා. මම ඒ බව මගේ මහත්තයට කියනවා. ඉතින් එයත් බිම බලාගෙන ගෙදරින් පිටවෙලා යනවා. පැය දෙක තුනකට පස්සේ තමයි ආපහු එන්නේ. වාරික පහක්ම ගෙව්වේ එහෙම තමයි. මොකද වුණේ කියලා අපි දෙන්නටම හිතාගන්නවත් බෑ. ඒ තරමටම පීඩනයක් තිබුණේ.”

විසි අට හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තිදරු මවක් වන කාන්තාවක් එසේ කී පරිදි ණය මහත්තයා යනුවෙන් හැඳින්වූයේ එක්තරා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයනයක ණය වාරික එකතුකරන නියෝජිතයකුටය. ඇය බීබීසී සිංහල සේවය සමඟ කඳුළු බේරෙන දෑසින් යුතුව පැවසුවේ වසර දෙකකට පෙරදී සිය සැමියාගේ ද අත්සන යොදා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයකින් රුපියල් පනස් දහසක ණය මුදලක් ලබා ගත් බවකි. පොරොන්දු පරිදි නියමිත දිනයට වාරිකය ගෙවීමට නොහැකි වීම නිසා මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවී ඇති බව ඇය වැඩිදුරටත් පැවසීය.

“ගත්ත ණය ගෙවා ගන්න බැරුව අපි දන්නා කියන ගෑණු අය කීප දෙනෙක්ම සිය දිවි හානිකර ගත්තා. තවත් අය මැඳ පෙරදිග රුකියාවලට ගියා. කොරෝනා ප්‍රශ්ණය නිසා දැන් ඒ අයට ආපහු ලංකාවට එන්නත් බෑ. සමහර විට වසංගතයට ගොදුරු වෙලා ඇති. ඇත්තටම මටත් මුලදි හිතුනේ දිවි නසා ගන්න තමයි,” ඇය තවදුරටත් පැවසීය.

ගෙවී ගිය වසරක කාලයක් තුළදී ග්‍රාමීය කාන්තාවන් 100 ක් පමණ මෙම ක්ෂුද්‍ර මුල්‍ය ණය හා පොලි වාරික ගෙවාගත නොහැකිවීම මත සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තාවන බව දුගී බව තුරන් කිරීම පදනම් කරගත් ‘නෙළුම් යාය පදනමේ’ රාධිකා ගුණරත්න බීබීසී සිංහල සේවය සමඟ පැවසීය. වාර්තා නොවන මරණ හා සියදිවි නසාගැනීමේ සංඛ්‍යාව බොහෝ වැඩි විය හැකි බව ද ඇය සඳහන් කළාය.

ග්‍රාමීය ආර්ථික නඟා සිටුවීමේදී සිය ව්‍යාපාර කටයුතු ස්ථාවර කර ගැනීම සඳහා යම් ක්ෂුද්‍ර මූල්‍ය ආධාරයක සැබෑ අවශ්‍යතාවක් ඇති අයට සහ ඉතා අසීරුවට පත්වසිටින ව්‍යවසායකයින්ට උපකාර කිරීමේ අරමුණින් මයික්‍රෝ ෆිනෑන්ස් (Micro Finance) හෙවත් ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය මුලින් හඳුන්වා දෙනු ලැබිණි. එය අද වන විට කෙතරම් ඵලදායී දැයි නැවත සමාලෝචනය කිරීමට කාලය එළැඹ ඇතැයි සමාජයේ මහත් කතාබහක් පවතින්නේ මෙම ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් අද වන විට අති මහත් ලාභ ඉපයීම සඳහා ම පමණක් පවත්වාගෙන යන ව්‍යාපාර බවට පත්වෙමින් තිබෙන බැවිනි.

දැරිය නොහැකි පොලී අනුපාත, වෘත්තීයමය නොවන ණය දීමේ ක්‍රියාවලීන්, ණය එකතු කරන්නන්ගේ අමානුෂික හා අසංවේදී හැසිරීම්, ණය භාවිතය පිළිබඳ පසු විපරම් නොකිරීම, රජයේ අධීක්ෂණය නොවීම, ශ්‍රී ලංකාවේ ‘ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට’ අදාළ ගැටලු බව රාධිකා ගුණරත්න පැවසීය.

නියාමනයකට ලක් නොවූ මෙවැනි ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල අනිසි ක්‍රියාකාරකම් ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් ලාභීන් මත අහිතකර බලපෑමක් ඇතිකර, අඩු ආදායම්ලාභීන් සහ දිළිඳු පුද්ගලයින් දරිද්‍රතා චක්‍රය තුළම රැඳී සිටීමට මගපාදමින් රටෙහි ආර්ථික දියුණුව කෙරෙහි අහිතකර ලෙස බලපාන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් තුළ නියාමනයකට ලක් වූ අංශ ද ඇතුළත්ව සම්පූර්ණ මූල්‍ය අංශය පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටේ. මේ අනුව පාරිභෝගික විශ්වාසය බිඳවැටීම තුළින් මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වාගැනීම කෙරෙහි අහිතකර අයුරින් බලපාන බව ද එම නිසා ශ්‍රී ලංකාව තුළ ඉහත කී නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත වන ආයතන නියාමනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාව මතුව ඇති බව මහා බැංකුව සඳහන් කරයි.

රාධිකා ගුණරත්න
ඡායාරූප ශීර්ෂ වැකිය,රාධිකා ගුණරත්න

“කොවිඩ් වලට සහන දෙනකොට මේ ක්ෂුද්‍ර මුල්‍ය ණය සදහා කිසිම සහනයක් ලැබුණේ නෑ. මේ පිළිබඳව මහ බැංකුවෙන් කිසිම සහනයක් මේ ජනතාවට නොලැබුන නමුත් කොවිඩ් අර්බුදය නිසා ණය අය කරන්නන්ට පැමිණීමට නොහැකිවුවත් ඔවුන් නැවතත් පැමිණි පසු එම නොගෙවූ කාලසිමාවටත් පොලිය හා වැල් පොලිය එකතු කිරීමෙන් ජනතාව තවත් අපහසුතාවට පත් වන බව රාධිකා ගුණරත්න පැවසීය.

“ණය ගෙවන්න බැරිනම් ඇයි ගන්නේ කියන්න පුළුවන් එත් අපි කියන්නේ ණය දෙනකොට ඒ ණය ගෙවන්න පුලුවන්ද කියන ඇගයීමක් කරලා තමයි ණය දෙන්න ඕන. ණය දීමම තමයි පළමුවන වැරැද්ද නැතිව මේ ණය ගත්තේ ඇයි නෙමෙයි.”

“මේ ණය අයකරන අය ගෙවල්වලට ඇවිල්ල පැය ගන්නන් ඉන්නවා ණය අයකරගන්න. විවිධ වාචික හිංසන සිද්ධ වෙනවා, මේ ක්ෂුද්‍ර මුල්‍ය කාන්තාවන්ට සිද්ධවන හිංසන වාචික, කායික, ලිංගික අල්ලස් ඉල්ලීම සහ වෙනත් අල්ලස් ඉල්ලීම දක්වාම සිද්ධ වෙනවා. කොයි තරම් නීති විරෝධී දේවල්ද ඒගොල්ලෝ මේ මිනිස්සුන්ට කරන්නේ කියල මේ සමාගම් වලට තවම අදහසක් නෑ.”

මෙම ලිපිය ආරම්භයේදී අදහස් පළ කළ ත්‍රිකුණාමලයේ පදිංචි නම හෙළිකිරීමට අකමැති වූ විසි අට හැවිරිදිකාන්තාව තවදුරත් පැවසුවේ “මහත්තයයි මම නිතරම කථා කළේ මේ ණය ගැනම තමයි. ණය මහත්තයා ආවොත් පැය ගාණනකට ගෙදරින් යන්නේ නෑ. ගේ ඇතුළට රිංගලා ඇඳේ වාඩි වෙලා බනිනවා. තොපිට ගෙවාගන්න බැරිනම් ගත්තේ මොකටද යකෝ කියලා තමයි අහන්නේ. මේ කුණු බැනුම් අහගෙන ඉන්න බැරුව දවසක් අපේ මහත්තයා ගෙදරින් පිටවෙලා ගියා. එදා තමයි ‍මේ හැම දෙයක්ම සිද්ධ වුණේ.”

ඒ කථාවේ සුල මුල ඇය වැඩිදුරටත් විස්තර කළ පරිදි වසර දහයකට පමණ පෙර එක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයනයක් ගමට පැමිණ ණය දීමේ වැඩ පිළිවෙල ආරම්භ කරනු ලැබුවේ ගමේ කඩේ මුදලාලිගේ බිරිද මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයට හවුල් කරගෙනය.

“ඒ දෙන්නා එකතුවෙලා කාන්තාවන් විස්සක් කැඳවලා ඒ අය කණ්ඩායම් පහකට බෙදුවා. එක් කෙනෙක් ලබා ගන්නා ණය මුදලට කණ්ඩාමේ පස්දෙනාම වග කියන්න ඔනෑ. පොලිය අවුරුද්දට සීයට විසි හතරයි. හැමෝම පන්දාහ ගානෙ ගත්තා. ණය මුදල අතට දෙන ‍කොට ස්වාමි පුරුෂයන්ගෙනුත් අත්සනක් ගන්නවා. ඒ ණය මුදල අපි නියමිත දිනයට ගෙවලා අවසන් කළා. ඔය අතරේ තවත් සංවිධානයක් ඇවිත් රුපියල් දහ දාහ බැගින් ණය දුන්නා. කොන්දේසි අර වගේම තමයි. අපි ඒ ආයතනයෙනුත් ණයක් ගත්තා,” ඇය පැවසීය.

වසරක් ඇතුළත ණය දෙන සංවිධාන හයක් ගමට පැමිණි අතර ස්වං රැකියා, එළවළු වගාව, වී ගොවිතැන ආදී විවිධ මාතෘකා යටතේ ණය මුදල් ලබා ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති ඔවුන් විසින්ම සකස් කර දෙනු ලැබිණි.

“ඒ අතරේ දෙන ණය මුදලත් වැඩි කළා. ඇත්තටම ගෑණු අය මේ ගැටවල අහුවුණා. කන්ට නැතුව හිටියත් අල්ලපු ගෙදරින් හාල් සේරුවක් ණයට ඉල්ලා ගන්න ලැජ්ජා වුණු අපි අන්තිමේදී නන්නාදුනන පිරිමින්ගෙන් දහස් ගණන් සල්ලි ණයට ගන්න පුරුදු වුණා. එක අයතනයකින් ගත්තු ණය මුදල තවත් ආයතනයකින් ණයක් අරගෙන ගෙවනවා. එහෙම තමයි හැමෝම වාගේ කළේ. මේ වැඩේ නිසා හතර අතේ ණයකාරයන් වුණා.”

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබා ගෙන ගෙවාගත නොහැකිව අතරමං වූ කාන්තාවන් සිය ගණනක් තම ගමේ සිටින බව පැවසූ ඇය. ඇත්තටම යම් යම් සුළු සුළු ස්වයං රැකියා කළ අයද ඒ අතර සිටි බව ද ඇය පැවසීය.

“ක්ෂුද්‍ර මූල්‍ය කාරයෝ විතරක් නොවෙයි යහපාලන ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් දෙකම අපි රැවට්ටුවා. මොකද මැතිවරණවල දී කිව්වේ මේවා නවත්වනවා කියලානේ. කෝ ඉතින් තවමත් නතර කළාද? දැන් කිසිම බැංකුවකින් අපට ණයක් ලබා ගන්න බෑ. බෑ,, බෑ… ණය දෙන්න බෑ. ක්‍රිබ් එකේ ඔයාගේ නම තියෙනවා කියලායි බැංකුවල මහත්තුරු කියන්නේ.”

දිළිඳුකම තුරන් කිරීම, වත්කම් ගොඩනගා ගැනීම සඳහා දිළිඳු පුද්ගලයින්ට අවස්ථාව සැලසීම, ඔවුන්ගේ ආදායම් ඉහළ නැංවීම සහ ආර්ථිකමය වශයෙන් ආතතියකට ලක්වීමේ අවදානම අවම කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අරමුණු කරගත් මූල්‍ය සේවා හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය, දිළිඳු පුද්ගලයින් හට ඉතා ප්‍රබල මෙවලමක් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථික කටයුතු වෙත ක්‍රියාකාරී දායකත්වයක් ලබාදෙන අතරම දිළිඳු පුද්ගලයින් හට තම ජීවන තත්ත්වය ඉහළ නංවාගැනීමට එය යොදා ගැනේ.

මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාව තුළ දශකයකට අධික කාලයකට පෙර සිටම නියාමනයට ලක් නොවූ ක්ෂුද්‍රමූල්‍ය අංශයේ ආයතන නියාමනය සඳහා නීති පැනවීමට විවිධ උත්සාහයන් ගන්නා ලද බවය. අවසානයේදී, 2016 අංක 6 දරණ ක්ෂුද්‍රමූල්‍ය පනත (ක්ෂුද්‍රමූල්‍ය පනත) පාර්ලිමේන්තුව මගින් පනවන ලද අතර, 2016 ජූලි මස 15 දින සිට එය බලාත්මකය.

මෙම පනත මගින් ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නිරත සමාගම් (බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම්) සඳහා බලපත්‍ර නිකුත් කිරිමට, ඒවා නියාමනය කිරීමට සහ අධීක්ෂණය කිරීමට අදාළ විධිවිධාන පනවා ඇත. බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) හරහා සෘජුවම නියාමනය කෙරේ. එසේම, 1989 අංක 30 දරණ සමාජ සේවා සංවිධාන පනත යටතේ ලියාපදිංචි වූ ක්ෂුද්‍රමූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ‍රෙජිස්ට්‍රාර්වරයා යටතේ නියාමනය කිරීමට ක්ෂුද්‍රමූල්‍ය පනත මගින් විධිවිධාන සපයා ඇත.

එහෙත් නෙලුම් යාය පදනමේ රාධිකා ගුණරත්න පවසන්නේ මේ වන විට සමාගම් හතරක් පමණක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදංචි වී ඇති බවය.

“ලංකාවේ හරියටම ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් කීයක් තියෙනවද කියල ම බැංකුවටවත් හොයාගන්න බෑ. තියෙනවා මුල්‍ය බලපත්‍රයක් තියෙන්න ඕන, ලියාපදිංචියක් තියෙන්න ඕන මහා බැංකුවේ කියල. 2016 සමාගම් පනතට අනුව සමාගම් තුනයි. ඒ පනතට අනුව මේක සමාජ ව්‍යවසායක් හැටියට කරනවා කියන්නේ. ඒ පනතට අනුව ගත්තහම ලංකාවේ තියෙන්නේ සමාගම් තුනයි. හැබැයි මහබැංකුවේ ලියාපදිංචි වෙලා කරගෙන යන්න පුළුවන් සල්ලි දෙන ව්‍යාපාරයක් විදිහට. එතකොට එහෙම සමාගම් තියෙන්නෙත් ඉතාමත් සුළු ප්‍රමාණයක්. එතකොට මේ සමාගම් එකතුවෙලා සංවිධානයක් හදාගෙන තියෙනවා මේ ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් නියෝජනය කරන ආයතනයක් විදිහට. එතන සාමාජිකයන් පනස් ගනනක් ඉන්නවා. නමුත් අපි දන්නවා ලංකාවේ 10,000 කට වඩා ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් තියෙනවා.”

මාවතගම ලිඳපිටිය ගම්මානයේ ඉදල් මඩුවක් පවත්වාගෙන යන ඩී එම් එම් විජයන්ති දිසානායක බීබීසී සිංහල සේවය සමඟින් පැවසුවේ ”නත්තල් කාලය එනකොට සාමාන්‍යයෙන් ඉදල් 2000 ක් විතර එක සතියේ ට්‍රිප් එකකට විකිණෙනවා. හැබැයි මේ පාර ඉදල් 500 ක් වත් විකිණෙන්නේ නැහැ. මිනිස්සු අතේ සල්ලි නැහැ. අමතරව මුදලක් වියදම් කරන්න. කන්න බොන්න අවශ්‍ය දේට විතරයි ප්‍රමුඛත්වය දෙන්නේ. මමත් ණයක් අරගෙන තියෙනවා ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයකින්, ඒ අය මාසයේ දෙවැනි සතියේ එනවා වාරිකය එකතු කරන්න. කොහොම හරි මුදල දෙන්න ඕනේ නැතිනම් ඇපයට අත්සන් කරපු දෙන්නට දෙන්නම වෙනවා. අපි තුන්දෙනෙක් තුන් දෙනාට අත්සන් කරලා ණය ගත්තේ. අපිට මුලින් අවබෝධයක් තිබුණේ නැහැ මේ ණය මත අයකරන පොලිය ගැන. හැබැයි ගෙවාගෙන යද්දී තේරෙන්නේ මේක ලොකු පොලියක් කියලා”. යනුවෙනි.

ඩී එම් එම් විජයන්ති දිසානායක
ඡායාරූප ශීර්ෂ වැකිය,ඩී එම් එම් විජයන්ති දිසානායක

තමන් 2019 වසරේ මැයි මාසයේ රුපියල් එක්ලක්ෂ පන්දහසක මුදලක් ණයට ඉල්ලුම් කළ අතර රක්ෂණ වාරිකයට රුපියල් 5000 ක් හා ලියකියවිලි ගාස්තු වශයෙන් රුපියල් 4000 ක මුදලක් අඩුකොට තමන් අත‍ට රුපියල් 96 000 ක මුදලක් අදාළ ක්ෂුද්‍ර මුල්‍ය ආයතනය විසින් දෙන ලද බව ඇය කීවාය. වාරික 18 කින් ගෙවා අවසන් කිරීමට එකඟ වූ ණය මුදල වෙනුවෙන් රුපියල් 7630 ක වාරික මුදලක් ගෙවන බවද ඇය පැවසුවා.

එම ප්‍රදේශයේම කොහු ආශ්‍රිත මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ජනක රත්නසිරි බීබී සී සිංහල සේවයට පැවසුවේ තමන් යටතේ කාන්තාවන් තිදෙනෙකු සේවය කරන අතර ඒ සියල්ල ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබාගෙන ඇති බවය.

”මේ තුන්දෙනාම මට වැඩ කරන්නේ මේ මුල්‍ය ආයතන වලින් ගත්ත ණය ගෙවන්න. ණය අයකරගන්නා උදවිය මං ළඟට ඇවිත් ණය කරුවන්ගේ වාරිකය එකතු කරගෙන යනවා. ඇත්තටම මං දන්නවා ඒ අය පිඩාවට පත්වෙලා ඉන්නේ. මගේ ව්‍යාපාරය මත ඒ අයට සියයට සියයක් යැපෙන්න සිදුවෙලා. බිස්නස් කියන එක හැමදාම එක වගේ නැහැ. මට අසීරුතාවක් ඇතිවුණොත් ඒ අයටත් තදින් එහි බලපෑම තියෙනවා” යනුවෙන් ඔහු පැවසීය.

ජනක රත්නසිරි
ඡායාරූප ශීර්ෂ වැකිය,ජනක රත්නසිරි

සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන වැඩපොළක් පවත්වාගෙන යන නිරෝෂා ප්‍රියදර්ශනී බීබීසී සිංහල සේවයට කියා සිටියේ මුල් කාලයට සාපේක්ෂව වර්තමානයේ දී ක්ෂුද්‍ර මුල්‍ය ආයතන අනුගමනය කල දැඩි අසාධාරණ පිළිවෙත තරමකින් වෙනස් වී ඇති බවය. පිඩාවට පත්වූ ණය කරුවන්ගෙන් එල්ලවූ විරෝධය මත මාසිකව ණය වාරික එකතු කිරීමට නියෝජිතයා පැමිණීමට මත්තෙන් ඒ බව කලින් දැනුම් දීමට කටයුතු කිරීම නව ප්‍රවනතාව බව ඇය පැවසුවාය. කෙසේ නමුත් අයකරන පොලිය තවමත් 20% කට ආසන්න බව ද ප්‍රියදර්ශනී සඳහන් කළාය.

නිරෝෂා ප්‍රියදර්ශනී
ඡායාරූප ශීර්ෂ වැකිය,නිරෝෂා ප්‍රියදර්ශනී

”මට සහ මගේ සහෝදරයාට ණය මුදල අරං දුන්නේ අපේ අම්මා, කලක් ගනුදෙනු කළ ඇයට තමයි ණය මුදල නිකුත් කරන්න ආයතනය කැමැත්ත පළ කළේ. මාසයේ නියමිත වාරික මුදල මම සහ මල්ලි සමසේ බෙදාගෙන ගෙවනවා. දෙන්නගෙන් එක්කෙනකුට ගෙවන්න බැරි වුණොත් අනික් කෙනා හරි නියමිත දිනට වාරිකය ගෙවනවා නැත්තං දඩ කන්න වෙනවා, කොරෝනා නිසා සහනයක් දෙන්න කියල රජය ඉල්ලීමක් කළා. නමුත් එහෙම සහනයක් ලැබුණේ නැහැ. ණය මුදල ගෙවීම තව මාස තුනකට දික්කරල දුන්නා.” යනුවෙන් ඇය පැවසීය.

මේ පිළිබඳව උනන්දුවක් දක්වන වෘතිකයෙකු වන නීතිඥ සුදත් ජයසුන්දර පවසන්නේ ක්ෂුද්‍ර මුල්‍ය ණය මහජනතාව අතරට යාමේ වරදක් නොමැති බවය. සෑම පුරවැසියෙකුටම බැංකු හෝ පිළිගත් මුල්‍ය ආයතන හරහා ණය ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ඔප්පු හෝ වෙනත් සුරැකුම් නොමැති බැවින් එවැනි පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා මෙවැනි ණය යෝජනා ක්‍රම යෝජිත බව ඔහු කියා සිටී.

නමුත් නීතිඥ ජයසුන්දර පවසන්නේ එය ණය ලබාගන්නා පාර්ශවයට දරාගත හැකි පොලියක් හා පහසුවෙන් ගෙවීමට හැකි වාරිකයක් ලෙස පැවතිය යුතු බවය. ඇතැම් ආයතන තවමත් දින තුනෙන් තුනට ණය එකතු කරන බවද එය ණයකරු යම් පීඩාවකට පත්වන කාරණයක් බවද ඔහු පෙන්වා දෙයි.

”ක්ෂුද්‍ර මුල්‍ය ණය නිකුත් කරන ආයතන මහබැංකුවේ ලියාපදිංචි කරන්න කියල අනිවාර්යෙන් නියමයක් නැහැ. නමුත් යම් පාලනයකට ගෙන එන්න රජය පනතක් ගෙනාවා 2016 මැද භාගයේ. එහෙත් එකේත් අනිවාර්ය කරලා නැහැ ලියාපදිංචිය. මුලදී මෙම ආයතන නිකුත් කරන ණය සදහා 40% ට වැඩි පොලියක් අය කළා.නමුත් පසුව රජය මැදිහත්වී මෙම ණය අනුපාතය 26% කට පහත දැමුවා. එම අනුපාත වුවද වෙනස්විය යුතු මට්ටමක පවතින්නේ.”

නීතිඥ සුදත් ජයසුන්දර
ඡායාරූප ශීර්ෂ වැකිය,නීතිඥ සුදත් ජයසුන්දර

නීතිඥ ජයසුන්දර පවසන්නේ බැංකු හා මුල්‍ය ආයතන මෙන් මෙම ක්ෂුද්‍ර මුල්‍ය ආයතනද යම් නියාමනයකට ලක්කලයුතු බවය. එය පාරිභෝගිකයාට මෙන්ම ණය ලබාදෙන පාර්ශවයටද හිතකර බව ඔහු වැඩිදුරටත් පැවසීය.
BBCSIHALA

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.