කොරෝනා මර්දනයට අදාළව මේ අවස්ථාවේ ජනප්‍රියම තේමාව වී තිබෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ගැන ඇති උනන්දුව හා එය සිව්වැනි රැල්ලක් කරා තල්ලුවේද යන්නයි. ඩෙල්ටා ප්‍රභේදය ගැන කරුණු සොයාගැනීමට අපට තිබෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පර්යේෂණාගාරය පමණි. ඒ තරමින් හෝ පරීක්ෂණ කිරීම ද යහපත් දෙයකි. පළාත් මට්ටමින් පරීක්ෂණ කිරීමට තරම් පහසුකම් අපට නැත. ශ්‍රී ජයවර්ධනපුර පරීක්ෂණ කණ්ඩායම පවා පරීක්ෂණ සහාය දෙන්නේ අපට ලබාදෙන සහායක් හැටියටය. ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් සම්පූර්ණ දත්ත ලබාගැනීම වැදගත් නමුත් පවතින දත්ත ප්‍රමාණයෙන් වුව නිගමනවලට අවතීර්ණවීමට අපට හැකිය. විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදය දෛනිකව වේගයෙන් පැතිරෙමින් ප්‍රදේශ රැසක් කරා ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් අපට මූලිකව නිරීක්ෂණය වේ.

ඒ අනුව මෙය කඩිනමින් රට පුරාම පැතිර ගොස් ප්‍රධාන ප්‍රභේදය බවට පත්වීමේ හැකියාවක් ඇතැයි කියා කටයුතු කිරීම මේ වේලාවේ ප්‍රශස්තම පියවරය. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මීට මාසයකට පෙර සියයට 10ක්ව පැවැති ඩෙල්ටා පැතිර යාම මේ වනවිට සියයට50 දක්වා ඉහළ ගොස් තිබේ. එංගලන්තයේදී බොහෝම කෙටි කාලයක් ඇතුළත එය සියයට 99 දක්වාම ඉහළ ගියේය. ලංකාවට වියහැක්කේත් මේ අනතුරම නිසා අවදානම කළමනාකරණයට සූදානම් වී ක්‍රියාකිරීම වඩා යහපත්ය.

වසංගත රෝග පාලනය සම්බන්ධයෙන් වූ ගෝලීය පුරෝකථන සමග රටවල් අවශ්‍ය තරමින් සංවේදී වී ක්‍රියාකිරීම වැදගත්ය. එසේ ක්‍රියාකරන්නේදැයි මැනීමට ක්‍රම දෙක තුනක් ද තිබේ. එක් ආකාරයක් වන්නේ ඒ දැනුවත් කිරීමට අප දක්වන ප්‍රතිචාරයයි. ඒ නිර්ණායකය අනුව නම් පුරෝකථනවලට සංවේදී වූ බවක් දැනට පෙනෙන්නට නැත. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මේ ගැන කරුණු පැහැදිලි කළ අතර සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පිරිස්, සිවිල් සංවිධාන සිය අදහස් දැක්වීමත් ජනමාධ්‍යය ද ඒ ආශ්‍රයෙන් තොරතුරු ප්‍රචාරය කිරීමත් දැකිය හැකිය. එහිදී සංවේදී වීමක් දකින්නට ලැබෙන්නේ මේ සාකච්ඡාවේය. නොඑසේව රාජ්‍යමය වශයෙන් වෙනසක් කළ බවක් පෙනෙන්නට නැත. වසා තිබූ ඇතැම් පොදු ස්ථානත් විවෘත කරන බවට වාර්තා වන පුවත්වලින් පෙනෙන්නේ ගෝලීය පුරෝකථනවලට බලධාරින් සංවේදී වී නැති බවය. ප්‍රතිපත්ති සම්පාදනයේදී ලංකාවේ දැකිය හැකි විශාලම දුර්වලතාවක් වන්නේ අවශ්‍ය වේලාව පමා කර තීන්දු රැසක් ගැනීමය. මේ දිනවල යළි කරකැවෙන බව පෙනෙන්නේ ද ඒ ඉතිහාසයමය.

ලංකාවේ එන්නත්කරණය සංඛ්‍යාත්මකව ඇත්තේ හොඳ තැනකය. දෛනිකව ලක්ෂ තුනක් හතරක් ලෙසින් එන්නත්කරණයේ වේගය පැසසුම් ලැබිය යුතුය. එහෙත් ප්‍රශ්න කීපයක් තිබේ. එකක් නම් එන්නත්වල ක්‍රියාකාරිත්වය වර්ග අනුව සමාන නොවීමය. ඇතැම් එන්නත් වඩා සුදුසු වන්නේ වෘද්ධ පිරිස්වලට වඩා තරුණ පිරිස්වලටය. එවිට අප කළයුත්තේ පිරිස් අනුව එන්නත කළමනාකරණයයි. නිදසුනකට පසුගිය දිනෙක වෙරළබඩ තීරයේ ඩෙල්ටා ප්‍රභේදය ඇතැයි සැක කළ පෙදෙසකට එසේ හඳුනාගත් එන්නත්කරණයක් විය. එය ඉතා ප්‍රශස්තය.

මෙහිදී සිදුවන්නේ විද්‍යා ක්‍ෂේත්‍රයට සම්බන්ධ පිරිස් රැස්ව තර්ක කර සාකච්ඡා කර ප්‍රශස්ත පියවර තීන්දු කිරීමය. සයන්ටිෆික් බ්රේන්ස්ටෝමින් කියා විද්‍යාවේ හැඳින්වෙන්නේ මෙම තත්ත්වයයි. එහෙත් ඇතැම් අවස්ථාවල මේ ක්‍රියාවලිය සිදුවන්නේ නැත. නිදසුනකට ගතහොත් මෙසේ තීන්දු ගන්නා අතර කිසියම් ප්‍රදේශයක දේශපාලන අධිකාරියෙන් එන්නත් ඇණවුමක් වී යැයි සිතමු. එවිට විද්‍යාත්මක ක්‍රියාවලිය හා දේශපාලන ඉල්ලීම අතර අතරමැදකට තල්ලුවීමක් වේ. එන්නත්කරණයේ උපරිම ඵලදායිතාව ගැනීමට නොහැකිවන්නේ මෙමගිනි. සෑම එන්නතකටම වයිරසය වැළඳිම වැළැක්විය නොහැකි වුවත් ආසාදිතයාට රෝගී තත්ත්වය උත්සන්නවීම අවම කිරීමටත් හා මරණ වළක්වා ගැනීමටත් හැකියාවක් ඇත. මේ ශක්‍යතාව එන්නත් වර්ග අනුව වෙනස් වේ.

වැඩිම මරණ වාර්තාවන්නේ වැඩිහිටි ජනගහනයෙනි. මේ නිසා මරණ හා රෝග උත්සන්නවීම් අවම කරගත හැක්කේ එන්නත්කරණයේදී වැඩිහිටි සහ වෙනත් රෝගාබාධවලින් පෙළෙන ජනයා ඉලක්ක කරගැනීමෙනි. එහෙත් තවමත් අප එවැනි ක්‍රියාවලියකට අවතීර්ණ වී නැත. බලපුළුවන්කාරකම් හා වෙනත් ළැදියාවන් අතර එන්නත්කරණය දෝලනය වෙමින් තිබේ. සෞඛ්‍ය බලධාරීහු යනු දේශපාලන අධිකාරියට යටත් පිරිසකි. එනිසා මෙම කාරිය කළ හැකි ප්‍රශස්තම විද්‍යාත්මක ක්‍රමය ගැන වුව ඔවුහු කල්පනා නොකරති. නොඑසේ නම් පවතින එන්නත් සංඛ්‍යාත්මකව මැන අධිඅවද‌ානම් ප්‍රජාවට මූලිකත්වය දීමට වැඩපිළිවෙළක් තිබිය යුතුය. ගෝලීය තත්ත්වය ගතහොත් ප්‍රශස්ත ලෙස එන්නත්කරණය සිදුකළ රටවල අසවල් පළාතට අසවල් එන්නත ආදී වශයෙන් පළාත් අනුව එන්නත්කරණයක් වූවේ නැත. එසේම ෆයිසර් එන්නත ලබාදීමේදී පාරදෘෂ්‍යභාවයේ ගැටලු බොහෝමයකි. විවිධ පිරිස් අපගෙන් අසන ප්‍රශ්නවලින් ද සමාජ සාකච්ඡාව ද නිරීක්ෂණය කළ විට අපට හිතෙන්නේ ෆයිසර් එන්නත ලබාගැනීමට සමාජයේ ඇතිහැකි බලපුළුවන්කාර පිරිස්වල ඇති නැඹුරුව අහම්බයක් ද කියාය. ධීවර ප්‍රජාවට හෝ වෙනත් හඳුනාගත් මිනිසුන් කණ්ඩායම්වලට එන්නත් ලබාදීමේදී ඒ අතරෙන් රිංගා ගොස් වෙනත් පිරිස් එන්නත් ලබාගත් අවස්ථා ගැන කොතෙකුත් කතා තිබේ. ඇතැම් තැන්වල මෙවැනි සිදුවීම් ගැන පොලිස් පරීක්ෂණ පවා කෙරෙමින් පවතී. මෙයින් කියන්නේ කුමක්ද? එන්නත්කරණයේ පාරදෘෂ්‍යභාවය ප්‍රශ්න කෙරෙමින් පවතින බව නොවේද?

සැබැවින්ම තීරණාත්මක වශයෙන් කෙරෙන මෙවැනි වංචාකාරී ක්‍රියා සිදුවන්නේ සමාජයේ ඉහළ තැන්වල ආශිර්වාදයෙනි. නොඑසේව පහළ සමාජ තීරු නියෝජනය කරන පිරිස්වලට එවැනි ලබාගැනීම්වලට හැකියාවක් නැත. එවැනි ව්‍යතිරේඛ කරා තල්ලුවන්නෝ එන්නත්කරණය ගැන බණ දේශනා කරන්නෝමය.

එන්නත්කරණය පැත්තෙන් ගත්විට කිවයුතුම දෙයක් තිබේ. එනම් එන්නත් ලබානොගන්නා පිරිසක් ද සිටීමය. ඇතැම්මු සමාජ මාධ්‍ය ඔස්සේ තමන් එන්නත් ලබානොගන්නා බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් සිටිති. මෙය ඉතාම නරක තත්ත්වයකි. ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පැත්තේ යම් ප්‍රශ්න තිබෙන තත්ත්වයක් තුළ වුවද විරුද්ධ දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගෙන් මෙම ක්‍රියාවලිය අරභයා ලැබිය යුතු සහාය ලැබෙන්නේද යන්නත් ප්‍රශ්නාර්ථයකි.

කොරෝනා  වසංගතය පාලනය මුළුමනින්ම ආණ්ඩුවේ රාජකාරියක් යැයි කිසිවකු හෝ සිතන්නේ නම් එයත් වැරැදිය. ඊට හොඳම උදාහරණය නම් සුනාමි අවස්ථාවයි. සුනාමි ව්‍යසනය අවස්ථාවේ විපක්ෂය පවා ඉතා සක්‍රීය ලෙස මහජනයාට සහන සැලසීමට සහාය දුන් ආකාරය ප්‍රශස්තය. සුනාමියට වඩා සන්දර්භය වෙනස් වුවද වසංගත තත්ත්වය මර්දනයට විපක්ෂයට සහාය දිය හැකි ආකාර නැතිවා නොවේ.

නිදසුනක් හැටියට එය මතවාදී තලයේ විය හැකිය. එන්නත්කරණය දිරිමත් කිරීමට පක්ෂවල හෝ සංවිධානවල ප්‍රචාරණ අංශ භාවිත කළ හැකිය. ජාතික වගකීම යනු එයයි. එහෙත් අවාසනාවකට ඇතැමුන් එන්නත ලබාගැනීම දිරිමත් නොකරන ප්‍රකාශ පවා කරනු අපට දැකිය හැකිය. පවතින ක්‍රමයේ අඩුපාඩු විවේචනය යහපත් වෙනසක් සඳහා වූ සමාජ ක්‍රියාකාරිත්වයේ ලක්ෂණයකි. එහෙත් ඒ සමගම ක්‍රමයේ වෙනස සඳහා වූ යෝජනාවක් ද ඔවුන් සතුව පැවැතිය යුතුය. එහෙත් මේ වනවිට අප දකින්නේ ආණ්ඩුව හා ඊට විපාක්ෂික වශයෙන් වූ බලවේග ද වගකීම් විරහිතව ක්‍රියා කරන තත්ත්වයකි. වෛද්‍යවරුන්ගෙන් ආරම්භ වූ වර්ජන පියවර වර්ජන රැල්ලක් බවට පත්වීමට ඉඩදුන්නේ ද ආණ්ඩුවයි.

පොදුවේ රාජ්‍ය සේවය පුරාත් ඉන් එපිටත් වැටුප් හා ආර්ථික දුක් දොම්නස් තිබුණත් වගකිව යුතු ආණ්ඩුවක් ඊට විසඳුම් සෙවිය යුත්තේ කේවල් කිරීමේ ශක්‍යතාව ඇති බලවත් වෘත්තීය සමිතිවලට පමණක් කන් දීම නොවේ. ඇතැම්විට සාධාරණ ප්‍රශ්න ඇති පිරිසකට වුව වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යාමට ශක්තියක් නැති විය හැකිය. එනිසා ආණ්ඩුව කළ යුතුව තිබුණේ අසමමිතික ලෙස ප්‍රශ්නවලට විසඳුම් සෙවීමකට නොයා අඩුම තරමින් පොදුවේ අසාධාරණයට ලක්වූවන්ට විසඳුමක් ලැබෙන ක්‍රමයක් ගැනය. අන්තිමේදී එය නිරෝධායන නීති පවා දේශපාලනිකව අපහරණය කෙරෙන තැනකට තල්ලු විය. එනිසා දැන්වත් පවතින සන්දර්භය තේරුම්ගෙන ක්‍රියා කිරීම ගැන යළි සිතා බැලිය යුතුව තිබේ.

ආසාදිතයන් හඳුනාගැනීම ද මෙහිදී වැදගත් කරුණකි. සාමාන්‍යයෙන් පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයන් බවට හඳුනාගන්නා ප්‍රතිශතය සියයට 5ක අගයක තබාගත යුතු යැයි පිළිගැනීමය. එහෙත් මේ වනවිට එම අගය ඉතා ඉහළ මට්ටමකට පැමිණ තිබේ. කෙසේ වෙතත් මේ දේවල් වුව සිදුවන්නේ සියයට සියයක් විද්‍යානුකූලව යැයි අපට කිව නොහැකිය. නොඑසේව ආසාදිතයන් ඉහළ යනවිට පී.සී.ආර්. පරීක්ෂණ පහළ දමන බවට සමාජයෙන් චෝදනාවක් එන්නේ නැත.

සැබැවින්ම මීට හේතු වී තිබෙන්නේ කොරෝනා මුළුමනින් මර්දනය කිරීම අභිලාෂයක් හැටියට පොදුවේ ප්‍රකාශ වුවද ක්‍රියාවලිය තුළ මුළුමනින් සංයුක්ත නොවීමය. අඩුපාඩු යනු අතපසුවීම් නම් විවේචනයට ලක්වන සිදුවීම් වනාහි අඩුපාඩු නොවේ. ඕනෑම ක්‍රියාවලියක අඩුපාඩු යනු සාමාන්‍ය දෙයකි. එහෙත් ඒ අඩුපාඩු යනු කිසියම් විනිශ්චයන් නම් ඒවාට අඩුපාඩු යැයි කියන්නේ කෙසේද? කෙසේ වෙතත් පවතින සමාජ ආර්ථික වටපිටාවෙහි නැවතත් රට මුළුමනින් වසා තැබීමකට ප්‍රායෝගිකව යා හැකි බවක් අපට පෙනෙන්නේ නැත. ඊට ප්‍රධාන හේතුව නම් එයින් අපේ වැටුණු ආර්ථිකයට එල්ල වන බලපෑම සුළුපටු නොවීමය. ඊට අපට ඇති එකම විසඳුම වන්නේ හැකි තරම් එන්නත්කරණයයි. අනෙක් අතට එසේ එන්නත් කළත් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට අදාළ මූලික පියවර හතර අනුගමනය නොකළහොත් එයින් පලක් වන්නේ ද නැත. මුව ආවරණ පැලඳීම, අත් සේදීම, සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම හා සංවෘත ප්‍රදේශවල වැඩි වේලා නොසිටීම ය. පවතින තත්ත්වයෙහි මේ සිව්වැනි කරුණ අතිශය වැදගත්ය.

සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට් හෙවත් මිනිසුන් වැඩි සංඛ්‍යාවක් ගැවසෙන සිදුවීම් ස්ථාන අවම කරගැනීමට මෙහිදී අවධානය යොමු කළ යුතුවේ. නිදසුනකට විවාහ මංගල්‍ය උත්සව දැක්විය හැකිය. එහෙත් අප දකින්නේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් වූ සීමා තවත් ලිහිල් කිරීම්ය.

ආර්ථිකයේ නාමයෙන් කෙරුණත් සැබැවින්ම එවැනි දේ මගින් සංයුක්තව ආර්ථික වාසියක් ලැබේද කියා ගැඹුරින් විමසිය යුතුය. නිදසුනක් හැටියට හෝටල් කර්මාන්තයේ දියුණුව සඳහා විවාහ මංගල්‍යයකට සහභාගි වන සංඛ්‍යාව ඉහළ දැමීමෙන් ලැබෙන ක්ෂණික වාසියක් නැත. මංගල්‍යයට සහභාගි වන පිරිස්වල පිරිවැය, ඉන්ධන වියදම් සහ ඇතැම්විට ඔවුන් ආසාදිතයන් වුවහොත් සිදුවන වැයකිරීම් හා සැසඳුවහොත් මෙය පහසුවෙන් වටහාගත හැකිය.

 

වේරියන්ස් ඔෆ් කන්සර්න් හෙවත් කොරෝනා වයිරස ප්‍රභේද ගැන සෙවීම වැඩිකළ යුතු යැයි සාකච්ඡාවක් තිබේ. ඇත්තය. එසේ සෙවීම හොඳය. එහෙත් ඒ ගැන සෙවීමේ ධාරිතාව වැඩි කරන අතරේම එවැනි අනතුරක් ඇතැයි සිතා සූදානම් ශරීරයෙන් සිටීම එවැනිම අත්‍යවශ්‍ය පියවරකි. තවමත් නැතැයි හිතා රවටාගැනීමට වඩා එය හොඳය. සැබැවින්ම ඇතැම් රටවල එවැනි සොයාගැනීම්වලට වඩා බර තබන්නේ අවදානමක් ඇතැයි සිතා සූදානම්වීමටය. වඩා යහපත් වන්නේ ද එයයි. එවිට අවදානමක් මතුවුව ද කල්තියා සූදානම් වී සිටීමේ වාසිය තිබේ. මෙම උපදේශය අපේම රටට අදාළව මෙසේ විවරණය කළ හැකිය. අප්‍රේල් අවුරුදු සමයට පෙර වනවිට ඇල්ෆා ප්‍රභේදයේ ආසාදිතයන් සිටින බව කීවේ අට දෙනකි. එහෙත් ඉන්පසුව සිදුවූයේ කුමක්ද? ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් දැනට වාර්තා වන සංඛ්‍යාව වුව පෙරසූදානමකට ඕනෑවටත් වඩා සෑහෙන බව මේ සාකච්ඡාව ආරම්භයේදීම මා කීවේ එහෙයිනි.

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාත්මකව වාර්තාවීම ඉහළ යාමත් ඒ අතරෙන් ඔක්සිජන් අවශ්‍ය රෝගීන් පිරිස ඉහළ යාමත් මේ වනවිට කොරෝනා ව්‍යාප්තියට අදාළ ප්‍රධාන නිරීක්ෂණයකි. නිදසුනකට මීගමුව රෝහලේ කොරෝනා ආසාදිතයන් මේ වනවිට සියයකට වැඩිය. එයින් සියයට විසිපහක් පමණ පිරිසකට ඔක්සිජන් අවශ්‍යය. මෙය යහපත් තත්ත්වයක් නොවේ.

මෙසේ ආසාදිතයන් ඉහළ යාම වේගවත්වීම සමග ඔවුන්ගෙන් වැඩි පිරිසකට ඔක්සිජන් අවශ්‍ය වුවහොත් අනිවාර්යෙන්ම අපට ඔක්සිජන් හිඟයකට මුහුණපෑමට සිදුවනු ඇත. එනිසා මෙය සිව්වැනි රැල්ලක් කරා යන්නට නොදී පැතිර යාම අඩු කරගත යුතුමය. එහිදී සමාජ මුහුවීම්වලට දුන් අවස්ථා යළි සීමාකිරීම තීන්දු ගැනීම පැත්තෙන් අත්‍යවශ්‍යය. රට වසා තැබීමකට නොගොස් සීමා මායිම් දැඩි කිරීමකට යා යුතුමය. එහෙත් එය නොකොට පවතින සීමා ද ලිහිල් කළහොත් එය ලොකු අනතුරකට අත වැනීමක් වනු ඇත.

lankadeepa