26.9 C
Negombo
26.9 C
Negombo

X-PRESS PEARL නෞකාවේ ගින්නෙන් සමුද්‍රීය පරිසරයට ඇතිවිය හැකි බලපෑම කෙබඳුද?

-

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගත් X-PRESS PEARL නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය, සුන්බුන් සහ අබිලි ද්‍රව්‍ය හේතුවෙන් කොළඹ ට ආසන්න මුහුදු තීරය විශාල වශයෙන් දූෂණය වී ඇති බව සමුද්‍රීය පරිසරය පිළිබද විශේෂඥයෝ පවසති.

මාස තුනක් පමණ පැරණි සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි.

මෙම නෞකාවේ නැව් තෙල් ටොන් 320ක් පමණ ඇති බව බලධාරීහු පැවසූහ.

සමුද්‍ර දූෂණය

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී ගින්න හටගෙන ඇති බව බලධාරීන්ට දැනුම් දී ඇතැයි අමාත්‍ය නාලක ගොඩහේවා පැවසීය. යම් පුද්ගලයෙකුගේ යම්කිසි අතපසුවීමක් හෝ වැරද්දක් වී ඇද්ද යන්න සොයා බැලීමට දැනටමත් මේ සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව නීතිමය කටයුතු කරන බව ද ඔහු කීය.

“සමුද්‍ර ජීවීන්ට විශාල බලපෑමක් වලා තියෙනවා. වලක්වාගත නොහැකි හානියක් වෙලා තියෙනවා.” යැයි කී ඔහු, මේ වන විට ඇතිවිය හැකි පරිසර හානිය පිළිබදව පරිසර අධ්‍යයනයක් කරමින් සිටින බව මාධ්‍ය හමුවේ පැවසීය.

X-Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාව ඉතිහාසයේ විශාලතම සමුද්‍රීය දුෂණයකට මුහුණ දී සිටින අතර බටහිර වෙරළ තීරය දැන් රසායනික ද්‍රව්‍ය, ප්ලාස්ටික් පෙති සහ තෙල් කාන්දුවක් මගින් දූෂණය වී ඇති බව දැක්වෙන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. එසේම අම්ල වැසි ඇතිවීමේ ඉඩකඩක් ඇති බවද ඒවායෙහි කියවිණි.

Skip Twitter post, 1

End of Twitter post, 1

සාගර විද්‍යාඥ ආශා ඩි වොස් මෙම නෞකාවේ ගින්න නිසා පරිසරයට ඇතිවිය හැකි හානිය පිළිබඳව අදාළ ක්ෂේත්‍රයන් හි විශේෂඥයන්ගෙන් විමසීම් කර ඇති අතර ඇය පවසන්නේ රසායනික සාගරවිද්‍යාඥ මහාචාර්ය ලිහිනි අලුවිහාරේගෙන් අම්ල වැසි ඇතිවීමේ හැකියාව පිළිබදව විමසූ බවය.

“නයිට්‍රික් අම්ලය දහනය කිරීමෙන් නයිට්‍රික් ඔක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO සහ NO2) නිපදවන අතර එය වායුගෝලයේ එක් වරක් ජලය සමඟ ප්‍රතික්‍රියා කර අම්ල වැසි ලෙස ප්‍රතික්‍රියා කරයි. කෙසේ වෙතත්, පහළට පැමිණීමට පෙර එය වායුගෝලයේ කෙතරම් තනුක කරනු ඇත්දැයි අප දන්නේ නැහැ.” යැයි රසායනික සාගරවිද්‍යාඥ මහාචාර්ය ලිහිනි අලුවිහාරේ කියා සිටි බවත්, “වායුගෝලයේ තෙතමනය වැඩි නම් අම්ලයට නැවත ප්‍රතික්‍රියා කිරීම ඉතා වේගයෙන් සිදුවේ. ප්‍රශ්නය වන්නේ අම්ලයේ “සාන්ද්‍රණය”පහළට පැමිණීමට පෙර කුමක් වනු ඇත්ද යන්නයි,” යනුවෙන් ඇය පැවසූ බවත් ආශා ඩි වොස් බීබීසී සිංහල සේවයට පැවසීය.”කෙටියෙන් කිවහොත්, සාන්ද්‍රණය අඩු නම්, එයින් ඇතිවිය හැකි බලපෑම අඩුයි. එහෙත් එහි සාන්ද්‍රණය ඉහළ මට්ටමක පවතී නම් ඒ පිළිබඳව අනාවැකි කීමට තරම් අපි දන්නේ නෑ.” යනුවෙන් ඇය තවදුරටත් පැවසූ බව ආශා ඩි වොස් කියා සිටියාය.

විශේෂඥයන් පවසන ආකාරයට වඩා වැදගත් වන්නේ තෙල් කාන්දුවීමක් වලක්වාගැනීමය.

“නෞකාව දෙකට කැඩිලා තෙල් කාන්දුවීමක් වෙයි කියල අනතුරක් තිබුණ නිසා තමයි ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ගෙන්නගත්තේ. ඔවුනට එහෙම තෙල් කාන්දුවක් උනොත් එය පාලනයට උපකරණ තියෙන නිසා,” යනුවෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය,කොළඹ වරාය ආසන්නයේ ගිනි ගන්නා නැව දියඹට ඇදගෙන යෑමේ යෝජනාවක්

ගින්න හේතුවෙන් විමෝචනය වන නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමග මිශ්‍ර වීමෙන් නයිට්‍රික් අම්ලය ඇති වන ස්වභාවයක් හට ගන්නා අතර අවට ප්‍රදේශවල අම්ල වැසි (ඇසිඩ් වැසි) ඇතිවීමේ හැකියාවක් ඇති බවත් විද්‍යාත්මක මතය වී තිබේ. මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවට අනතුරු ඇඟවීමක් ද කළේය.

“සාගර දූෂණය හා හානියේ ප්‍රමාණය අපි තවමත් බලපෑම හා හානිය තක්සේරු කරමිනුයි ඉන්නේ. බලපෑම තක්සේරු කිරීම සඳහා අපි අදාළ සාම්පල එකතු කරමින් ඉන්නේ. ප්ලාස්ටික් කැට ගොඩක් විහිදිලා තියෙනවා,” යනුවෙන් නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ මහාචාර්ය දීප්ත අමරතුංග බීබීසී සිංහල සේවය සමග පැවසීය.

“මාළු සාමාන්‍යයෙන් PH අගයට ඉතා සංවේදී යි. ඒ නිසා මේ නයිට්රික් අම්ලය කාන්දු වීමත් සමඟ මාළු එම ප්‍රදේශයේ ඉන්නේ නැහැ. එත් අනෙක් සාගර ජීවීන්ට බලපෑම් ඇති විය හැකියි. තවමත් එහි බලපෑම අපි තක්සේරු කරලා නෑ.”

ඔහු පැවසුවේ මෙම ප්‍රදේශයේ මසුන් ඇල්ලීම තහනම් කර තිබෙන බැවින් ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවය.

“සාගර දූෂණය හා එම හානියේ ප්‍රමාණය ඇගයීමට අපි තවමත් ප්‍රවේශවෙලා නෑ මෙය කොපමණ කාලයක් බලපානු ඇත්දැයි අපට හරියටමකියන්න බෑ.” මහාචාර්ය දීප්ත අමරතුංග පැවසීය.

මෙම සිදුවීමෙන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා නාරා ආයතනය කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග ගනු ලබන බවද ඔහු කියා සිටියේය.

සමුද්‍ර දූෂණය

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

පරිසරවේදී ආචාර්ය නීතිඥ ජගත් ගුණවර්ධණ බීබීසී වෙත කියා සිටියේ රට තුළ දැනට පවතින අගුලු දැමීම හේතුවෙන් එම ස්ථාන නැරඹීමට හා සැබෑ තත්ත්වය තක්සේරු කිරීමට තමාට නොහැකි වූ නමුත් ලොව පුරා මෙවැනිම සිදුවීම් පදනම් කර පවතින තත්ත්වය පිළිබඳව ඇගයීමේදී මෙමගින් ඉතාමත් භයානක පරිසර හානියක් සිඳුවිය හැකි බවය.

“ප්ලාස්ටික් කැබලි විශාල ප්‍රමාණයක් තිබෙනවා, මේවා මුහුදේ පාවෙද්දී කැඩී බිඳී ගිහින් ඉදිරි කාලයේ දී ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි විශාල ප්‍රමාණයක් මුහුදට මුසුවෙලා ජලජ ජීවීන්ට විශේෂයෙන් මූදු පතුලේ සත්ත්වයන්ට හා මූදු පතුලේ ශාක වලට අහිතකර බලපෑමක් ඇතිවෙන්න පුළුවන්,” යනුවෙන් ඔහු කීය.

“අනෙක් කාරණය වන්නේ නයිට්‍රික් අම්ලය ජලයේ සංයුතිය යම් ප්‍රමාණයකට වෙනස් කරන කාන්දුවීමක් සිදුවුවහොත් එය ධීවර කර්මාන්තයට බලපානු ඇති අතර අනෙකුත් අනවශ්‍ය ජීවීන්ගේ වර්ධනය වෙන්න පුළුවන්. මේ සියල්ලම හැකියාවන්, වර්තමාන අගුලු දැමීම නිසා මට ඒ දෙස මගේ දෑසින් දකින්න එම ස්ථාන වලට යාමට බැරි වූ නිසා මම මේ කියන්නේ පුළුවන් දේවල්.”

මතුවූ තත්ත්වය හේතුවෙන් පානදුර සිට මීගමුව කළපුව දක්වා ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට බලධාරීහු පවසති.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ එක් දින ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයන් හා ඒ ආශ්‍රිත රැකියාවන් හි නියුතු පුද්ගලයන්ට අහිමිවන දෛනික ආදායම ලබාදීමට රජය දැනටමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවය. බහුදින යාත්‍රා ධීවරයන්ට මෙමගින් කිසිදු බලපෑමක් ඇතිනොවන බව ද ඔහු සඳහන් කළේය.

bbcsinhala

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.