පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන වන්දි නඩු ජනාධිපති මුක්තිය හේතුවෙන් බහා තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලයි
කටුවපිටිය සාන්ත සෙබෙස්තියන් කතෝලික දේවස්ථානය තුළ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අගතියට පත් පිරිස් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවත්වාගෙන යාමට නොහැකි බැවින් එම නඩු බහා තබන ලෙසට නියෝග කරන ලෙසට වන ඉල්ලීමක් අද (අගෝස්තු 02) දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පිරිස් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති නඩුකර 33ක් අද දින මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා ඉදිරියේ කැඳවන ලද අවස්ථාවේ දී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නීතීඥ ට්‍රෙවෝ ප්‍රනාන්දු මහතා අධිකරණයට සැලකර සිටියේ තම සේවාදායක වන රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජනාධිපති ධූරය හොබවන බැවින් , ඔහු හට ජනාධිපති මුක්තිය හිමි වන බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපතිවරයාට එරෙහිව මෙම නඩු පවත්වාගෙන යා නොහැකි බැවින් එම නඩු බහා තබන ලෙසත් ය.
එහිදී පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ මුක්තිය සම්බන්ධයෙන් වන කරුණ මතු වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වන සියලු පාර්ශවයන් ගේ සැලකිරීම හෙට දින (03) සිට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, එහිදී ජනාධිපතිවරයා ගේ මුක්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන නිගමනය මත මෙම වන්දි නඩු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් ය.
ඒ අනුව විත්තිකරුවන් ගේ උත්තර ප්‍රකාශ සහ නඩු බහා තැබීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් වන විරෝධතා ඇත්නම් ඒවා ඔක්තෝබර් මස 31 වන දින ගොනු කරන මෙන් අධිකරණය විසින් නියෝග කරන ලදී.
පාස්කු ඉරු දින කටුවපිටිය සාන්ත සෙබස්තියන් කතෝලික දේවස්ථානය තුළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මියගිය අයවලුන් ගේ පවුල්වල සාමාජිකයන් සහ තුවාල ලැබූ පිරිස් විසින් තමන්ට සිදු වූ හානි සම්බන්ධයෙන් වන්දි ඉල්ලා පවරා ඇති නඩුකර 182ක දෙවන විත්තිකරු ලෙස නම්කර ඇත්තේ එවකට අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ , වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය.
ඊට අමතරව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත ජයසුන්දර, බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් සහ නීතිපතිවරයා මෙම නඩුකර වල අනෙකුත් විත්තිකරුවන් ලෙස නම් කර ඇත.
මෙම නඩුකර වලදී විත්තිකරුවන් වෙනුවෙන් දමිතා වික්‍රමාරච්චි, ට්‍රෙවෝ ප්‍රනාන්දු, උදානි කරුණාරත්න, ලක්ශිකා බක්මීවැව, ධම්මික සිල්වා යන නීතීඥ මහත්ම මහත්මීන් පෙනීසිටින අතර පැමිණිලිකරුවන් වෙනුවෙන් දිලුම් ප්‍රනාන්දු, කෞශල්‍යා ප්‍රනාන්දු , නදීශා පෙරේරා, ඈන් සෙනෙවිරත්න යන නීතීඥ මහත්ම මහත්මීන් ගේ උපදෙස් මත නීතීඥ ඉන්දික බණඩාර අබේකෝන් සමගින් ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටී
නීතිඥ ඉන්දික අබේකෝන්