වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇප මත නිදහස්

-

මීට සුළු මෙනාහොතකට පෙර වෛද්‍ය මොහොමඩ් ෂාෆි ඇප මත නිදහස් කිරිමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.

ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 25 ක ශරීර ඇප 4ක් මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය.

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා එල්ලවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද තෙවැනි දිනටත් කැඳවීය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ෂාෆි වෛද්‍යවරයා ද නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අද පස්වරුවේදීයි.

අද පස්වරු 1.30 ට පමණ නඩු විභාගය ආරම්භ වූ අතර විත්තිකාර වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුව සමාජයේ ආන්දෝලනයට තුඩුදී ඇති නඩුවක් බැවින් භික්ෂූන් වහන්සේ ඇතුළු විවිධ පිරිස් නඩු විභාගය අවසානයේ පිටතට ගොස් මාධ්‍ය වෙත ලබාදෙන ප්‍රකාශ හරහා සංහිඳියාව බිඳ දැමීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිතා මතා සිදුකරන එවැනි ප්‍රකාශ නිසා විශාල අගතියක් ඇති වන බැවින්, මෙම නඩුවේ පාර්ශ්වකරුවන් හැර අනෙකුත් පිරිස් අධිකරණ පරිශ්‍රෙයන් ඉවත් කර නඩු විභාගය සිදුකරන ලෙසයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ අගතිතයට පත්වූ මවක්වේ නම් නඩු විභාගයේදී පළවන අදහස් දැන ගැනීමට ඇයට අයිතියක් ඇති බැවින් සෙසු පාර්ශ්ව ඉවත් කිරිමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මෙහිදී යළිත් අධිකරනය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර කියා සිටියේ අගතියට පත් පාර්ශ්වය හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කවුරුන්ද යන්න දැනගැනීමට තම සේවාදායකයාට අයිතියක් ඇති බවයි.

එහිදී විත්තිකාර පාර්ශ්වය සහ අගතියට පත් පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි.

ඒ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන්ට කියා සිටියේ මව්වරුන් මෙම නඩු විභාගය සඳහා සහභාගී වීම අනවශ්‍ය නොවන බවත්, මව්වරුන්ගේ පැලෝපීය නාලය කපා ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා කියා සිටියේ විත්තියේ නීතීඥවරයා විසින් මව් පදවියට අවමන් වන පරිදි අදහස් දක්වන බවයි.

මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේ ගෞරවනීයව නඩු විභාගය පවත්වාගෙන යාමට අධිකරණයට සහාය වන ලෙසයි.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුනු දක්වමින් වෛද්‍ය ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් සී අයි ඩී යට ලැබුණු පැමිණිලි 615 අතරින් වඳභාවය සම්බන්ධයෙන් සැකයක් සහිත පැමිණිලි සංඛ්‍යාව 147ක් පමණක් වන බවත්, සෙසු පැමිණිලි සිසේරියන් සැත්කමින් පසුව නැවත දරු පිළිසිඳ ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොඉක්මවූ මව්වරු විසින් සිදුකළ ඒවා බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකයට තුඩුදෙන පැමිණිලි 147ක් ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය යටතේ දරුණු තුවාල සිදුකිරීමේ වරද යටතට ගැනෙන බවද, ඔහු සඳහන් කළේය.

වෛද්‍ය ෂාෆි අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වූ පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංක 03 අංශයට යොමු කර ඇති බවද වන්ද්‍යකරණය සම්බන්ධයෙන් වෙනම පරික්ෂණ සිදුකරගෙන යන බවද සඳහන් කළ නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් තහවුරු කිරීමට කරුණු නොමැති බවයි.

එමෙන්ම වන්ද්‍යකරණය සිදුකර ඇත්තේද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා සිදුකිරීමට නියමිතව තිබූ එස් එච් ජී පරික්ෂණ සිදුකිරීම තාවකාලිකව අත්හිටුවමින් අධිකරණය ලබාදුන් නියෝගය හේතුවෙන් විමර්ශන කටයුතු ඇනහිට තිබෙන බවද නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ කාසල් සහ ද සොයිසා රෝහල්වල ඉකුත් වසර 05ක කාලය තුළ එස් එච් ජී පරික්ෂණවලට ලක්වූ මව්වරුන්ට සංකූලතා ඇති වී තිබේද යන්න වාර්තාවක් ලබාදෙන ලෙසට එම රෝහල් අධ්‍යක්ෂවරුන්ට නියෝග කරන ලෙසයි.

එමෙන්ම ඉකුත් ජුනි මස 27 වන දින පැවති නඩු විභාගයෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍යයට කළ ප්‍රකාශවල සංස්කරණය නොකළ වීඩියෝපටවල පිටපත් සී අයි ඩී යට ලබාදෙන ලෙස දෙරණ හා හිරු මාධ්‍ය ආයතන වෙත නියෝගයක් කරන ලෙසද අධිකරණයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම් දෙකටම අධිකරණය අවසර ලබා දුන්නේය.

විත්තිකරු රඳවා තබාගැනීම සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මේ වනවිට විත්තිකාර වෛද්‍ය ෂාෆි දැඩි තුවාල සිදුකිරීමේ වරද යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 311 වන වගන්තිය ප්‍රකාරව රඳවාගෙන සිටින අතර එය ඇප ලබාදිය හැකි වරදක් බැවින් විත්තිකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නොමැති බවයි.

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී එය තනිව සිදුනොකළ බවත්, ඒ හේතුවෙන් ඔහු පමණක් සිරගත කර සිටීම අසාධාරණයක් බවයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව ද ඇප ලබා දීමට විරුද්ධත්වයක් නොමැති හෙයින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ වෛද්‍ය ෂාෆි මුදල් උපයාගත් ආකාරය පිළිබඳව කිසිදු වාර්තාවක් සී අයි ඩී ය අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.

එමෙන්ම වෛද්‍ය ෂාෆි ඇප මත මුදාහැරියහොත් මව්වරුන්ට විවිධ බලපෑම් එල්ල කර මුදල් ලබාදී විමර්ශන කටයුතු අඩපණ කිරීමට ඉඩ ඇති බැවින් ඇප ලබාදීමට තමන් විරුද්ධ බවද අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන් සඳහන් කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් යළිත් වරක් නීතිපතිවරයාගේ මතය විමසා සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ විමර්ශනවල කරුණුවලට අනුව ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විරෝධයක් නොමැති බවයි.

ඒ අනුව විත්තිකරුට ඇප ලබා ලබා දී ඇත.

ADADARANA

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here