එය දින එක හමාරකින් පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමට නියමිත අතර, චන්ද්‍රිකාවේ සම නිර්මාණකරුවෙකු වන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරු තරිඳු දයාරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ, එය සිකුරාදා පස්වරු 6.30 වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමට නියමිත බවය.

රාවණා 1 චන්ද්‍රිකාව ලබන ජූනි මාසයේ මැද භාගයේදී කක්ෂගත කිරීමට මූලිකව සැලසුම් කර ඇතැයි ද තරිඳු දයාරත්න පැවසීය.
“පොඩි කාලේ ඉඳලා අභ්‍යවකාශය ගැන ගොඩක් ආසාවෙන් ඉගෙන ගත්තත්, මම කවදාවත් හිතුවේ නෑ අපි ම හදපු චන්ද්‍රිකාවක් යවන්න පුළුවන් වෙයි කියලා. මුලින් ටිකක් චකිතයකින් හිටියේ රොකට් එක යනකම්. ඒත් ඒක සාර්ථකව පිටත් වුණා ම ලොකු සතුටක් ඇති වුණා,” තරිඳු දයාරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
“මේක ගැන මුළු ශ්‍රී ලංකාව ම සුබ පතනවා. විශේෂයෙන් ම කෑගල්ලේ තියෙන අපේ ගෙදරට ගමේ ම අය එකතු වෙලා ගොඩක් ආඩම්බරයෙන් ඒ ගැන කතා කරනවා කියලා අම්මලා කිව්වා. මට ලොකු සතුටක් දැනෙනවා මේ ගැන.”
මේ අතර, මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා දායක වූ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසුවේ, රොකට්ටුව සාර්ථකව පිටත් වන තුරු තමන් දැඩි චකිතයකින් පසුවූ බවය.

“රොකට් එක සාර්ථකව ගියාට පස්සේ ලොකු සතුටක් දැනුණා. මේක මගේ සිහිනයක් සැබෑ වීමක්. මගේ එක ම අරමුණ අභ්‍යවකාශය ගැන තවදුරටත් ඉගෙන ගෙන ඒ සම්බන්ධ කටයුතුවලට දායක වෙන එකයි,” දුලානි චාමිකා විතානගේ ප්‍රකාශ කළාය.
රජයේ අවධානය
මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානයක් යොමු වීම වැදගත් බව තරිඳු දයාරත්න සඳහන් කළේය.

“බර්ඩ්ස් 3 ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරපු සෑම රටක ම චන්ද්‍රිකා කක්ෂගත කිරීම සමරන්න ලබන ජූනි මාසයේදී විතර ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ උත්සවයක් තියෙනවා. ඒකට අදාළ රටේ ඉහළ නිලධාරියෙක් සහභාගි වෙන්න ඕන. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය අවධානයක් යොමු කරනවා නම් ඒක ඉදිරි ව්‍යාපෘතිවලටත් හොඳයි.”
මේ පිළිබඳව බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි අතිරේක ලේකම්වරයෙකු සඳහන් කළේ, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ද සිය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවය.
“මේ ව්‍යාපෘතියට ප්‍රතිපාදන ලබා දුන්නේ අපේ අමත්‍යාංශයෙන්. අපේ අමාත්‍යාංශය මේ ව්‍යාපෘතිය ගැන අවධානයෙන් ඉන්නේ. මාධ්‍යවලින් ඒ ගැන කතා කරන්නේ නැහැ,” එම අතිරේක ලේකම්වරයා සඳහන් කළේය
BBCSINHALA