ගම්පහ නගරයේ උපකාරක පන්තියක ජීවවිද්‍යා ශිෂ්‍යයකු ලෙස එක්ව, ජීවවිද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමඟ මිත්‍රවී ඇය දූෂණය කර ඡායාරූපගත කරමින් අන්තර් ජාලයට මුදා හළ බව කියන 27 හැවිරිදි කුලීකරුවකු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු නිට්ටඹුවට නුදුරු ප්‍රදේශයක පදිංචි අවිවාහකයෙකි. මොහු තරුණියන් මුලාකර ගනිමින් වැරදි ක්‍රියාවන්ට සම්බන්ධ කර ගැනීම පිණිස උපකාරක පන්තිවල ශිෂ්‍යභාවය ලබා ගෙන ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

මෙම සැකකරු මීට පෙරද මේ අයුරින්ම 15 හැවිරිදි පාසල් දැරියක සමඟ මිත්‍රත්වයක් ඇති කර ගනිමින් ඇය දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් අත්හිටවූ සිරදඬුවමක් ලබා සිටියදී මෙලෙස තවත් තරුණියන් දූෂණය කර ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සැකකරු ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම සිදු කිරීමෙන් පසුව  පොලීසියට ලැබී ඇති පැමිණිලි මත මීට දෙමසකට ආසන්න කාලයක් ඉතා සූක්ෂම අන්දමින් පරීක්ෂණ අරඹා ඇති ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ සිදුකරමින් දුරකථන විශ්ලේෂණ වාර්තා ද කැඳවා තිබේ.

මොහු ව්‍යාජ හැදුනුම්පත් භාවිතා කර සිම් කාඩ්පත් භාවිතා කරමින් මෙලෙස තරුණියන් ඇසුරු කර ඇති බවද පරීක්ෂණ වලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී තරුණිය සමඟ සිටි දසුන් අන්තර්ජාලයට මුදා හැරීම සිදු කළ පරිගණක කොටස් සහ ජාතික හැඳුනුම්පත් දෙකක් ද සොයා ගෙන ඇත

lankaadeepa.lk