අපේක්ෂා කරන වෙනස සිදු කිරිමට පොහොට්ටුවට 2/3 ක් දෙන්න

-

ජනතාව රට තුළ අපේක්ෂා කරන වෙනස සිදු කිරිම සදහා ඊලග මහා මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකක බලයක් ලබා ගත යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඊලග මහා මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමෙන් ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමට නොහැකි වනු ඇති බවයි.

කටාන හා මීරිගම පළාත් පාලන නියෝජිතයන් සමග ඉදිරි මහා මැතිවරණය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (08)  පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඉදිරි මහා මැතිවරණයේ දි ඒ ඒ ආසන වලින් ලබා ගත යුතු ඡන්ද ඉලක්ක පැහැදිලි කිරීම සදහා මෙම සාකච්ඡාව කැදවා තිබිණි. සාකච්ඡාව පැවැත්වුණේ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදියි.

මෙහි දි වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

‘අපි මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ අමාරුවෙන්. ආණ්ඩුව පවත්වාගෙන යන්නේ මේ වසර සදහා අයවැයක්වත් ඉදිරිපත් නොකරයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වු වහාම අපි අපේ ආණ්ඩුවක් පිහිටුවා ගත්තත් අපිට පාර්ලිමේන්තුවේ බහුතර බලයවත් නෑ. ඒ නිසා අපිට ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමේ දුෂ්කරතාවයන් තිබෙනවා. අපිට හැකි පරිදි ඒ වෙනස පරිවර්තනය සිදු කරමින් තිබෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. එතුමා ජනාධිපති වුණාම මේ රටේ ජනතාව සුවිශේෂි වෙනසක් අපේක්ෂා කලා.

ජනතාව අපේක්ෂා කල ඒ වෙනස සිදු කිරීමට නම් අපිට ඊළග මහා මැතිවරණයේ 2/3 ක බහුතර බලයක් ලබා ගත යුතුයි. එවිටයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, පසුගිය ආණ්ඩුව අත්සන් කළ රටට අහිතකර විවිධ අණපණත් සංශෝධනය කරගන්න හැකියාව ලැබෙන්නේ. අපිට මහා මැතිවරණයේ 2/3 ක බහුතරය ගන්න බැරිවුණොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වීමේ වාසිය ජනතාවට නොලැබෙන්න ඉඩ තියෙනවා.

ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණාම මහින්ද මහත්තයව අගමැති කළා. ඔහු දින 52 ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් අගමැතිවරයා ලෙස පත්වෙන්නේ ජනාධිපතිවරයා පත් කළ නිසයි. නමුත් මේ රටේ බහුතර ජනතාවගේ ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ අගමැති ලෙස පත් කරගැනීම අපේ ඉලක්කයයි. ඊලග මහා මැතිවරණයේ දි අප කටයුතු කරන්නේ ඒ වෙනුවෙන්. රටේ බහුතර ජනතාව ඒ වෙනුවෙන් පෙළ ගැසි ඉන්නවා.

අපි පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි පොහොට්ටුවේ  පළාත් පාලන ආයතන පිහිටුවා ගත්තා. පසුගිය ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ ජනාධිපතිවරයෙකු පත් කර ගත්තා. ඊලගට අප්‍රේල් අග දි පැවැත්වෙන මහා මැතිවරණයෙන් අපි පොහොට්ටුවේ අගමැතිවරයෙක් හා පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුය. සමහරු කියන්නේ පොහොට්ටුව නැතිව වෙන වෙන ලකුණු වලින් අපි තරග කළ යුතු බවයි. නමුත් මා ඇතුළු බහුතරයකගේ අදහස වෙන වෙන ලකුණු නෙමෙයි අපි මෙවර මැතිවරණයකට පමණක් නෙමෙයි ඉදිරි ඕනෑම මැතිවරණයකට තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බවයි. පොහොට්ටුව ලකුණ අපි අතහැරියොත් එය තමයි පක්ෂයක් ලෙස අපි ගන්නා අදුර්දර්ශීම තීන්දුව. ඒ නිසා මම නම් පොහොට්ටුව අතහරින්න ඉඩ දෙන්නේ නෑ.

ආණ්ඩුවේ ප්‍රධාන තැන්වල ඉන්න සමහර නිළධාරින් පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ පත් කරපු අය. එහෙම නැත්නම් තනතුරු හදා ගත්ත උදවිය. ඒ අය කැමති නෑ අපිව ආණ්ඩුව විදිහට පිළිගන්න. ඒ නිසා විවිධ කකුලෙන් ඇදිම් තිබෙනවා. විවිධ බාධා කිරිම් තිබෙනවා. ඒ නිසාම සමහර වෙලාවට අපිට ජනතාවගේ සමහර ඉල්ලීම් ඉටු කරන්න ලොකු කාලයක් යනවා. මම දන්නවා සමහර රජයේ නිළධාරින් අපේ පළාත් පාලන ආයතන නියෝජිතයන් මහජන නියෝජිතයන් ලෙස පිළිගන්නේ නෑ. ඒ නිසාත් විවිධ ගැටළු  මතුවෙලා තියෙනවා. මේ තත්ත්වය අපි වහාම වෙනස් කළ යුතුයි. දැන් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් නෙමෙයි. අපේ ආණ්ඩුවක්.

පාඨලි, රාජිත, රන්ජන් අත් අඩංගුවට ගැනීම ගැනත් සමහරු ආණ්ඩුවට චෝදනා කරනවා. ආණ්ඩු විරෝධි UNP, JVP අය මේවා දේශපාලන පළිගැනීම් කියලා අපිට බනිනවා. අපේ ම අයත් මේ අයව ඉක්මනට එළියට දැම්මා. UNP එකත් එක්ක ඩීල් දාලා කියලා අපිට බනිනවා.  පාඨලිව, රාජිතව අත් අඩංගුවට ගත්තට මිනිස්සු සංතෝෂ වුණා. හැබැයි ඇප දුන්නාම තරහ වුණා. ඩීල් දේශපාලනය අපි ළග නෑ. අප ඩීල් දාන්නේ මේ රටේ මහජනතාව එක්ක විතරයි. අපි නීතිය අතට අරන් නෑ පසුගිය ආණ්ඩුව වගේ. පාඨලි, රාජිත හා රන්ජන්ට ඇප ලැබීමේන් තහවුරු වුණේ අපේ ආණ්ඩුව නීතියට බලපෑම් නොකරන බවයි.

රන්ජන් රාමනායකගේ සිද්ධියේ දි දැන් රටට හොදට හෙළිදරව් වෙලා තියෙනවා මොකද වුණේ කියලා. රන්ජන් ගාව තිබුණු හඩපට වලින් පැහැදිලියි පසුගිය ආණ්ඩුව ඩීල් දාපු හැටි. රන්ජන්ට මේකෙ වගකීම දීලා එක්සත් ජාතික පක්ෂය දැන් අතපිහදාගන්න හදන බව පේනවා. මේක රන්ජන් තනිව කරපු දෙයක් නෙමෙයි. රන්ජන් මේ කළේ එජාපයේ ලොක්කන්ගේ උවමනාවක් ඉටු කිරීම බව පැහැදිලියි. ඒ නිසා රන්ජන්ගේ හඩපට සිද්ධිය සම්බන්ධයෙන් රන්ජන්ට වගේම යහපාලන ලොක්කන් සියලු දෙනාට විරුද්ධව පියවර ගත යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන රජිත  හපුආරච්චි ,ආනන්ද හරිස්චන්ද්‍ර, කෝකිලා හර්ෂණි ගුණවර්ධන යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් ව සිටියහ

ප්‍රදීප් අනුරකුමාර

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here