ශ්‍රී ලංකාවේ කාන්තාවන්, ‘සම සුදු කිරීම’ හා නොතකන කරුණු

“සුදු පැහැති සමක් ලැබෙනවානම් වෙන මොනවා නැතත් කමක් නැහැ”

“අනේ මටත් අර නිළිය වගේ වෙන්න තිබුණානම්”

ස්වභාවයෙන් ලද සමේ පැහැය සහ ශරීරාංග පිළිබඳ සෑහීමකට පත් නොවන ඇතැමුන් එවැනි වදන් පවසනු ඇසේ. කාන්තාවන් පමණක් නොව ඇතැම් පුරුෂයින්ද සිය ස්වභාවික ශරීර පැහැය සහ ස්වභාවය වෙනස් කර ගැනීමට උත්සහ දරන බව නොරහසකි.

ශ්‍රී ලාංකිකයින් බහුතරයට උපතින් හිමි වන්නේ දුඹුරු හෝ ලා දුඹුරු පැහැති සමකි. මෙලනින් වර්ණකය අධික සමක් පිහිටීම සහ සම නිරන්තරයෙන් අව් රශ්මියට නිරාවරණය වීම තද පැහැති සමක් ලැබීමට හේතුවක් ලෙස දැක්විය හැකිය. මෙලනින් නිපදවීමේ සෛල එක සමාන සංඛ්‍යාවක් සෑම පුද්ගලයකුගේම සිරුරේ අන්තර්ගත වුව ද, ජාන අනුව ඒවා නිපදවෙන ප්‍රමාණය වෙනස් වේ.

ශ්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලයින්, ඉනුත් බොහෝවිට කාන්තාවෝ ‘සම සුදු කර ගැනීමේ’ නොයෙකුත් ආලේපන ගැල්වීමේ සහ ශරීරයේ යම් අංග වෙනස් කර ගැනීමේ අනුමැතියකින් තොර ක්‍රම අත්හදා බැලීමට පුරුදු වී සිටිති. සමට අහිතකර නොයෙකුත් රසායන ද්‍රව්‍ය මිශ්‍ර කළ ආලේපන බොහොමයක් වෙළෙඳපොළෙහි බහුලව දක්නට ලැබේ. මේ අතර දේශීය නිෂ්පාදන මෙන්ම බහුජාතික සමාගම්වල රූපලාවන්‍ය නිපැයුම් ද ඉතා ලාභදායි මිලකට සතුකර ගැනීමේ හැකියාව ඇත.

ශ්‍රී ලාංකික පුද්ගලයන් බොහෝ දෙනෙකුට උපතින් හිමි වන්නේ දුඹුරු හෝ ලා දුඹුරු පැහැති සමකි

Skin Whitening treatments in Sri LankaImage copyrightGETTY IMAGES
Image captionශ්‍රී ලාංකිකයින් බොහොමයකට උපතින් හිමි වන්නේ දුඹුරු හෝ ලා දුඹුරු පැහැති සමකි

ආලේපන ගැල්වීම පමණක් නොව, ශරීරයට නොයෙකුත් දියර එන්නත් කර ගැනීම, රාසයනික ප්‍රතිකාර, ලේසර් ප්‍රතිකාර මෙන්ම නොයෙකුත් පෙති වර්ග බීමෙන් ද සමේ පැහැය වෙනස් කර ගැනීමට අද වනවිටබොහෝ කාන්තාවෝ පෙළඹී සිටිති. එමෙන්ම, මුහුණේ සම රැලි වැටීම වළකාලීමට, දෙතොල් විශාල කර ගැනීමට, පසු ප්‍රදේශය විශාල කර ගැනීමට සහ දෙකම්මුල් උස්ව රඳවා තබා ගැනීම වැනි බොහෝ රූපලාවන්‍ය කටයුතු නිසි ප්‍රමිතියකින් යුතු ස්ථානවලින් ඉටුකරවා ගැනීමට කාන්තාවන් යොමු වී ඇති බවක් දක්නට ලැබේ.

“සම සුදු කර ගැනීම දැන් ‘පිස්සුවක්’ බවට පත් වෙලා. මෙයට ඉතා ඉක්මණින් පිළියමක් සෙවිය යුතුයි” යැයි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට බීබීසී සිංහල සේවය සමග පැවසීය.

සම පැහැපත් කරවන ආලේපන සහ එන්නත්වලින් මෙලනින් නිෂ්පාදනය අවම කරන අතර, එය ශරීරයේ ස්වභාවික ක්‍රියාවලියට බාධා පමුණුවයි. එමෙන්ම රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන මඟින් සමෙහි ඉහළම ස්ථරය ඉවත් කිරීම මඟින් අහිතකර සූර්ය කිරණ සහ පරිසරයේ ඇති නොයෙකුත් අපද්‍රව්‍යවලට සම නිරාවරණය කෙරෙනු ඇත. සමේ වර්ණක බිඳෙන ලේසර් ප්‍රතිකාර සහ එන්නත් කිරීම් ද බොහෝවිට හානිදායි ප්‍රතිඵල ගෙන දේ.

Skin Whitening treatments in Sri LankaImage copyrightGETTY IMAGES
Image captionසම පැහැගන්වන ආලේපන සහ එන්නත්වලින් මෙලනින් නිපැයුම අවම කරන අතර, ශරීරයේ ස්වභාවික ක්‍රියාවලියට බාධා පමුණුවයි.

අනුමැතියකින් තොර, සම පැහැගැන්වීමේ නිපැයුම් බොහොමයක් වෙළෙඳපොළේ දැකිය හැකි බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට, “පුද්ගලයෙකු යම් රෝගී තත්වයකින් පීඩා විඳිනවා නම් එයට සරිලන ප්‍රතිකාරයක් විදියට වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් ක්‍රම ඔස්සේ සම සුදු කිරීමට පුළුවන්. ඒ හැර කළු පුද්ගලයෙකු සුදු කරනවා කියා දෙයක් නැහැ” යැයි අවධාරණය කළේය.

මෙවැනි ආලේපන සහ එන්නත් දියරවල බොහෝ රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු වී ඇති අතර, ඇතැම් ඒවා නොයෙකුත් ස්ටෙරොයිඩ් වර්ග සහ ලෝහමය ද්‍රව්‍යයක් වන රසදිය අධි මාත්‍රාවක් අඩංගු කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

“රසදිය සමට අවශෝෂණය වීමෙන් ඇත්තෙන්ම සම සුදු වෙනවා. නමුත්, දීර්ඝ කාලීන භාවිතය තුළින් වකුගඩු රෝග, ස්නායු රෝග, මානසික ආතතිය, අතපය වෙව්ලීම, නොයෙකුත් ආසාදන තත්වයන් සහ ගර්භණී මවක් නම් දරුවාගේ වර්ධනයට පවා බලපෑම් එල්ල වෙන්න පුළුවන්”

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අකරවිට, “මේ දේවල් වලින් සම තුනී වෙනවා. ඊට පසු සමට යටින් තිබෙන ලේ නහර එළියට පේන්න ගන්නවා. මේ දේවල් භාවිතා කරලා සමේ රෝග ඇතිවුණ අය සතියකට දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් මා හමුවට ප්‍රතිකාර ලබා ගන්න එනවා. ඒ අයගේ මුහුණේ ඇති කුරුලෑ දුටු සැණින් අපි දන්නවා යම් ආලේපනයක් විස වෙලා කියලා. මොකද, ඒවා සාමාන්‍ය ඒවාට වඩා වෙනස්,” යැයි පෙන්වා දුන්නේය.

Skin Whitening treatments in Sri LankaImage copyrightGETTY IMAGES
Image captionආලේපන සහ එන්නත් දියරවල රසායන ද්‍රව්‍ය ඇති අතර ඇතැම් ඒවායෙහි ස්ටෙරොයිඩ් වර්ග සහ රසදිය අධි මාත්‍රාවක් අඩංගුය.

“අපි ළඟට එන සේවාදායකයෝ තමන් කැමතිම නිළිය හෝ නළුවාගේ පෙනුම ලබා දෙන්නේ කියලා ඉල්ලනවා. එහෙම නැත්නම් කොහොමහරි හම සුදු කරලා දෙන්න කියනවා. මේ ක්‍රමවල අහිතකර බලපෑම් ගැන අපි විස්තර කිවුවත්, ඒ අය ගණන් ගන්නේ නැහැ. සමාජ ජාල ඇතුළු, සෑම මාධ්‍යයකින් ම උදේ ඉදන් රෑ වෙනකම් ප්‍රචාරය කරන්නේ නොයෙකුත් රූපලාවන්‍ය ක්‍රම ගැන. මේ දේවල් නිසා හම සුදු කරගන්න සහ වෙනස් වෙන්න ඕනෙ කියන එක මිනිස්සුන්ගේ ඔළුවට කා වැදිලා” යැයි රූපලාවන්‍ය ශිල්පිනියක වන අභිෂේකා විමලවීර බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

පුද්ගලයෙකුගේ වයසත් සමග ස්වභාවිකව වෙනස් වන සම සහ ශරීරයේ නොයෙකුත් අංග වෙනස් කර ගැනීමට උත්සහ දැරීමේදී එම ආලේපන හෝ එන්නත් දියරවල අඩංගු වූ රසායනික ද්‍රව්‍ය විෂ වීමෙන් ඇතැමෙකු මිය යාමේ සිදුවීම් ද පසුගිය කාලයේ අසන්නට ලැබිණි.

Skin Whitening treatments in Sri LankaImage copyrightABHISHEKA WIMALAWEERA/FACEBOOK
Image captionඅභිෂේකා විමලවීර

ස්ටෙරොයිඩ් සහ ග්ලුටතයොන් (Glutathione) ක්‍රීම් සහ පෙති වර්ග වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ක්‍රම ලෙස භාවිත කළ ද, ඒ කිසිවක් සමේ පැහැය හෝ ශරීරාංග වෙනස් කර ගැනීම සඳහා සුදුසුදැයි පරීක්ෂණ මගින් තහවුරු වී නොමැති බව පවසන විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට “සුදු වෙන්න කරන භයානකම දේ තමයි ග්ලුටතයොන් එන්නත් ලබා ගන්නා එක. මේ එන්නත්වල අතුරු ආබාධ බොහොමයක් තිබෙනවා,” යැයි පැවසීය.

Skin Whitening treatments in Sri LankaImage copyrightJANAKA AKARAWITA/FACEBOOK
Image captionචර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට

මේ තොරතුරුද දැනගන්න:

ඇයි මේ සම සුදු කරගැනීමට උත්සහ කරන්නේ?

සිය ජීවිතයට වන හානිය ගැන නොතකා සමෙහි පැහැය සහ ශරීරාංගවල හැඩය වෙනස් කර ගැනීමට කාන්තාවන් පෙළෙඹෙන හේතු රාශියක් ඇති බව අප කළ විමසුමේදී දැනගන්නට ලැබිණි.

සිය ජීවිතයට වන හානිය ගැන නොතකා සමෙහි පැහැය සහ ශරීරාංගවල හැඩය වෙනස් කර ගැනීමට ඇතැම් කාන්තාවන් පෙළෙඹෙන හේතු රාශියක් ඇති බව අප කළ විමසුමේදී දැනගන්නට ලැබිණි.

  • තමන් ප්‍රිය කරන යම් ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ පෙනුම ලබා ගැනීමේ අරමුණ.
  • සිය මිත්‍රයින්ගේ සමෙහි වර්ණය, ශරීරාංග හෝ ඔවුන්ගේ රූපලාවන්‍ය ක්‍රම අනුගමනය කිරීම.
  • අඳුරු පැහැති සමක් තිබෙනම් සමාජයෙන් කොන් වේ යැයි වැරදි මතයක එල්බගෙන සිටීම.
  • පිරිමින්ගේ ආකර්ෂණය ලබාගැනීමට අපොහොසත් වේ යැයි සිතීම.
  • විවාහයක් කරගැනීමට නොහැකි වේ යැයි බිය වීම. විශේෂයෙන්ම, මංගල දැන්වීම් ඔස්සේ පවා “පැහැපත් තරුණියක හෝ තරුණයෙකු” යන වදන් ඉස්මතු කර තිබෙනු දක්නට ලැබේ.
  • අඳුරු සමක් ඇතැයි පවුලේ හෝ මිතුරන්ගේ උසුළු විසුළුවලට ලක් වීම.
  • පාසලේදී, සේවා ස්ථානයේදී හෝ වෙනත් කාර්යකදී වෙනස් කොට සලකන බවට ඇති සැකය.
  • ජංගම දුරකථන සහ ඡායාරූපකරණයේ ඇති නොයෙකුත් අධි තාක්ෂණික ක්‍රමඋපයෝගී කරගෙන ලබා ගන්නා ඡායාරූපවල බොහෝ පුද්ගලයන් ඉතා සුදු පැහැති සමක් සහිතව දිස්වේ. මෙම ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධ කළ පසු, එය සැබෑ ජීවිතයේ පෙනුමට වෙනස් නිසා ඇතිවන මානසික පීඩනයට ඇතැමුන් පිළිතුරු සොයන්නේ සම පහ ගන්වන ආලේපන මගිනි.
  • ‘සමේ සුදු පැහැය’ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධවීමට ඇති මගක් ලෙස සිතීම.
  • සිය මංගල දිනයේ රූපලාවන්‍ය නිෂ්පාදන බොහෝමයක් භාවිත කරමින්, ආභරණ, මල් සහ වටිනා ඇඳුම්වලින් ඉතා අලංකාර වන කාන්තාවන්, විවාහයෙන් පසු සිය ස්වාභාවික බව සිය ස්වාමිපුරුෂයාට සහ සමාජයට පෙන්වීමට පැකිළීම.
  • කළු පැහැය ලැබෙන්නේ අපිරිසිදු වීමෙන් හෝ වෙනත් නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වීමෙන් යන මිත්‍යා මතවල එල්බගෙන සිටීම.
  • අන්තර්ජාලය සහ විවිධ මාධ්‍ය ඔස්සේ සම පැහැගන්වන ක්‍රම ප්‍රචාරය කිරීම.
Skin Whitening treatments in Sri LankaImage copyrightGETTY IMAGES
Image caption“සුදු වීමේ ක්‍රම අනුගමනය කරන්න ගිහින් ඇතැම්විට සම පුරා ඇතිවන රෝගී තත්වයන්ට මුහුණ දෙනවා”

“එක් කාන්තාවක් පැමිණියා සුදු වෙන ක්‍රීම් වර්ග භාවිත කරලා මුහුණේ විශාල ගෙඩි තිබුණ. අවසානයේ දී සොයලා බලද්දී ඒ ගෙඩි ඇතුළේ පණුවෝ පිරිලා සිටියා. මේ වගේ ඉවක්බවක් නැතුව නොයෙක් ක්‍රම භාවිත කරන සමහර අය ටික කාලයකින් හිටියටත් වැඩිය කළු වෙනවා. ක්‍රීම් ගාලා හෝ එන්නත් ලබා ගත්තාම ඒවා නවත්වන්න බැරුව යනවා. නැවැත්තුව ගමන් ආයෙත් කළු වෙනවා. සම පැහැපත් කර ගැනීමේ ස්වභාවික ක්‍රම ඕනෑ තරම් තිබෙනවා. රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන පසුපස දුවන්නේ නැතුව තමන්ට හිමි ලස්සන සමට සහ ශරීරයට ආදරය කරලා ඉතා පිරිසිදුව ඉන්න එකයි වැදගත්” යැයි අභිෂේකා විමලවීර පැවසුවාය.

තවත් තොරතුරු:

රූපලාවන්‍යවේදීන්ට වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් තිබේද?

“නැහැ. රූපලාවන්‍යවේදින් කියන්නේ වෛද්‍යවරුන් නෙමෙයි. ඒක අපි හොඳින් මතක තියාගන්න ඕනෙ. අපිට පුළුවන් සම, නියපොතු, කොණ්ඩය බාහිර ලස්සන කරන්න විතරයි. විටමින් පෙත්තක්වත් බොන්න කියලා අපිට කියන්න බැහැ. දැන් අපේ රූපලාවන්‍යාගාරවලට වැඩි හරියක් එන්නේ සුදු වෙන්න ගිහින් සම විකෘති වුණ අය. ඒ අය හිටියටත් වඩා කළු වෙලා, මුහුණේ ගෙඩි ඇවිල්ලා. තමන්ට සුදු වෙන්න අවශ්‍යතාවක් තිබෙනවානම් වෛද්‍යවරයෙකු හමුවෙන්න. හැබැයි වෛද්‍යවරුන් හම සුදු කිරීමේ ක්‍රම අනුමත කරන්නේ නම් නැහැ” යැයි රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වසර තිහක් පමණ අත්දැකීම් ඇති ශිල්පිනියක වන තිරාණි පීරිස් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

Skin Whitening treatments in Sri LankaImage copyrightTHIRANI PIERIS/FACEBOOK
Image captionතිරාණි පීරිස්

ශ්‍රී ලංකාවේ අන්තරාදායක ඖෂධ සහ රූපලාවන්‍ය නිෂ්පාදන පාලනය කරන නීතිය කුමක්ද?

ජාතික ඖෂධ නියාමන අධිකාරි සංශෝධන පනත් කෙටුම්පත 2015 වර්ෂයේදී පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය නමින් නව ආයතනයක් ආරම්භ වූ අතර, ඖෂධ, වෛද්‍ය උපකරණ, නිෂ්පාදන නියාමන, සායනික පරික්ෂණ ඇතුළු අංශ ස්ථාපනය කිරීමේ බලය ඔවුනට පැවරී තිබේ.

ජාතික උපදේශක කමිටුවක් පිහිටුවීමට පනතේ විධිවිධාන සලසා ඇති අතර 1980 අංක 27 දරණ විළවුන්, උපකරණ හා ඖෂධ පනත මේ සමග අහෝසි විය.

මෙම පනතෙන් ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රමවලින් ඇතිවිය හැකි අතුරු ආබාධවලින් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ නීති සම්පාදනය කර ඇති අතර, අදාළ ඖෂධය මගින් අපේක්ෂිත පරමාර්ථය ඉටුවේ ද යන්න විමසා බැලීම, ගුණාත්මක භාවය යන කරුණු ද ආවරණය වේ.

මෙම පනතේ ක්‍රියාකාරීත්වයෙන් ඖෂධ සල් සහ රූපලාවන්‍යාගාරවල ඇති ප්‍රමිතිය සහ නිසි අවසරයකින් තොර නිෂ්පාදන, කල් ඉකුත්වූ නිෂ්පාදනවලට අදාළව නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img