පොහොට්ටුව වාසනාවන්ත ළකුණක් ප්‍රසන්න රණතුංග

-

බුලත් කොළය හෝ පුටුව ළකුණ අපට වාසනාවන්ත ළකුණක් නොවන බවත්, වාසනාවන්ත ළකුණ පොහොට්ටුව බැවින් ඉදිරි මහා මැතිවරණයේ දි ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටුවෙන් පමණක් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යළි අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කුමන ගිවිසුමක් තිබුණ ද පුටුව ළකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු ආසන බල මණ්ඩලයක කැමැත්තක් නැතැයි පෙන්වා දුන් රණතුංග මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉදිරි මහා මැතිවරණය පොහොට්ටුවෙන් තරග කරන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීම් කර ඇතැයි කීවේ ය.

කවුරු කා සමග ගිවිසුම් ගත වුවත් ජනතාව සමග ඇතිව තිබෙන ගිවිසුම් ඒ සියල්ලටම වඩා වටින බැවින් පාක්ෂික ඉල්ලීම සලකා  පක්ෂ නායකයින් මේ ගැන තීන්දුවක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද රණතුංග මහතා කියයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජා-ඇල පැවති බලමණ්ඩල රැස්වීමේදි රණතුංග මහතා මේ බව සදහන් කලේය. ජා-ඇල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආසන බල මණ්ඩලය පසුගිය සිකුරාදා (06) සවස ජා-ඇල රෝයල් පාර්ක් හෝටලයේදි පැවැත්විනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කිවේය.

“පසුගිය පළාත් පාලන මැතිවරණය පොහොට්ටුවෙන් තරග කළ යුතු යැයි මුලින්ම කිවේ ගම්පහ අපියි. එදා අපි බුලත් කොළෙන් ඉල්ලුවානම් සමහරවිට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් නොවන්නත් තිබුණා. මොකද එහෙම වුණානම් බුලත් කොළයේ උදවිය අපේ කකුලෙන් අදින නිසා. ජනාධිපතිවරණයේදිත් අපි ඉතා තදින් පෙනී සිටියා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදරිපත් විය යුත්තේ පොහොට්ටුවෙන් බවට. ඒකත් අපි ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිටින මන්ත්‍රිවරු, ජනතාව ඉල්ලන්නේ ඊලග පාර්ලිමේන්තු මැතිවරණයත් පොහොට්ටුවෙන් තරග කළ යුතු බවයි. මම ඒක කියපුවාම මම දැක්කා අපේ ම සමහරු කියලා තියෙනවා ගිවිසුමක් තියෙනවා කියලා තියෙනව ඉදිරි මහා මැතිවරණය පුටුවෙන් තරග කරන්න. කවුරු කා සමග ගිවිසුම්ගත වුණත් ජනතාව සමග අපේ තිබෙන ගිවිසුමයි වටින්නේ. අපේ කිසිම ආසනයක බල මණ්ඩල වල කැමැත්තක් නෑ ඉදිරි මහා මැතිවරණය පුටුවෙන් තරග කරන්න. ඒ නිසා අපි අපේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලනවා පොහොට්ටුවෙන් ම තරග කරන්න කියලා.

2015 බලයට ආපු යහපාලන ආණ්ඩුව තරම් කාලකණ්ණි ආණ්ඩුවක් අපේ රටේ ඉතිහාසයේ බිහි වුනේ නෑ. පත් වුණ ගමන් කළේ මහින්ද මහත්යාගෙන්, රාජපක්ෂවරුන්ගේ පළි ගන්න එක. මේ වහපාලන කාලකණ්නි ආණ්ඩුව ඒ රජයට කටයුතු කළේ දෙමව්පියෝ දරුමල්ලෝ නැති අය නිසයි. තව ටික දවසක් ගියා නම් මේ රට නැත්තටම නැතිවෙනවා.

යහපාලන ආණ්ඩුව මේ රටේ බෞද්ධකම විනාශ කළා. සංස්කෘතිය විනාශ කළා. ඒ වෙලාවේ හිටපු නායකයෝ ඇස්කන් පියාගෙන හිටියේ . මංගල සමරවිරලා, රන්ජන් රාමනායකලා බෞද්ධ භික්ෂුන්ට අපහාස කළේ තරගෙට.  2015 දී ජාතික ආණ්ඩුව හදලා UNP එක SLFP, TNA, JVP එකතු කරගෙන ෆෙඩරල් රාජ්‍යක් හදන්න ගිවිසුම් ගැහු හ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න හැදුවා. උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කළා. හාමුදුරුවරුන් ව හිරේ දැම්මා. එහෙ ම කරපු එජාපයට දැන් ආපහු පන්සල මතක් වෙලා. බෞද්ධ ජනතාව බෞද්ධ සංස්කෘතිය මතක් වෙලා. අනේ සාදු.

2019 දි ජනාධිපතිවරණයේ දි සජිත් ප්‍රේමදාස දෙමළ ජාතික සන්ධානය සමග හොර රහසේ ක්‍රියාත්මක කරන්න හැදුවේත් මෙම වැඩපිළිවෙලම තමයි. පසුගිය ජනාධිපතිවරණයේ දි අවසන් ප්‍රතිඵලයේ ලංකා සිතියමේ සටහන අරන් බැලුවාම ඇත්තටම තෙරේනවා මොකද වෙලා තියෙන්නේ කියලා. උතුරේ මිනිස්සු හංසයාට ඡන්දය දුන්නේ ඊළම ගන්න. දකුනේ හංසයාට ඡන්දය දීපු මිනිස්සු ඡන්දය දීලා තියෙන්නේ ඊළම දෙන්න. දකුණේ හංසයාට දිපු හැම ඡන්දයක්ම මේ රට බෙදන්න දිපු ඡන්දයක්.

අද සමහරු හිතාගෙන ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වුණා ම ඔක්කොම හරි කියලා. නෑ එහෙම නෑ. අපිට තවත් ලොකු වැඩ ටිකක් ඉදිරියේ තියෙනවා. ජනාධිපතිවරණයේ දි ලබා දුන් ජනවරම අප ආරක්ෂා කර ගත යුතුයි. ඉදිරි මහා මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගත යුතුය. පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටවිය යුතුය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වීමත් සමග අපේ රට විනයක් සහිත රටක් බවට පත්වෙලා තිබෙනවා. දරුවෝ ස්වේච්ඡාවෙන් රට ලස්සන කරන්න ඉදිරිපත් වෙලා. රට ගැන හිතන්න පටන් අරන්. රාජ්‍ය නායකයා රටට ආදරය කරන විනයක් සහිත කෙනෙක් වෙනකොට රටත්, ජනතාවත් ඉබේ ම ඒ තත්ත්වයට පත් වෙනවා. එදා තිබුණ ආණ්ඩුව ගමට විතරයි යහපාලන වුණේ. ඔක්කොම ගියේ අනිත් පැත්තට. ඒත් අපි ප්‍රතිපත්තියෙන් වගේම ක්‍රියාවෙනුත් විනගරුක රටක් හදනවා.

ගෝඨාභය මහත්තයා බලයට පත් වූ වහා ම රාජ්‍ය ආයනත වල රාජ්‍ය ලාංඡන සවි කෙරුණා. බොහෝ වෙනස්කම් රට තුළ සිදු වෙමින් තිබෙනවා. මුඩුබිමක් වු රට වැඩබිමක් කරන්න අවශ්‍ය කටයුතු සිදු වෙනවා. මම දැක්කා සමහරු කියනවා වැලි, පස්, ප්‍රවාහන බලපත්‍ර ඉවත් කරපු එක වැරදියි කියලා. ආණ්ඩුව ඒ බලපත්‍ර ඉවත් කළේ රට නැවත වැඩ කරන රටක් බවට පත් කිරිමෙ අරමුණින්. හැබැයි අපි පස් වැලි කපන්න ලබා දි ඇති බලපත්‍ර කොන්දේසි ලිහිල් කරන්නේ නෑ.‍

බටහිර රටවල් වලට දෙමළ ඩයස්පෝරාවට අද තියෙන ලොකුම හිසරදය අපේ ආරක්ෂාවයි. ඒ නිසා අපේ ආණ්ඩුව දෙස් විදෙස් වශයෙන් අප කීර්තියට පත් කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය ඊට හොද උදාහරණයක්. පරික්ෂණ වලින් මෙතෙක් මෙවැනි පැහැර ගැනීමක් ගැන අනාවරණය වෙලා නැ.හැබැයි රාජිත කියනවා ස්විස් කාන්තාව පැහැරගෙන ගිය හැටි, කටට පිස්තෝලේ ඔබපු හැටි. මේ යහපාලන ගොබිලන් මේ ගැන කලබල වෙලා ඉන්න විදියෙන් ම පැහැදිලියි මේවා සිදු වන්නේ කිසියම් කුමන්ත්‍රණයකට අනුව බව. රාජිත කොහොමද මේවා දන්නේ. ඒ නිසා වහා ම රාජිත අත්අඩංගුවට ගෙන ඔහුට මේ තොරතුරු දුන් අය හෙළි කර ගෙන ඔවුන් ද අත්අඩංගුවට ගත යුතුයි. ”

ප්‍රදීප් අනුරකුමාර

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here