ධීවර කටයුතු නියෝජ්‍ය ඇමතිවරයාව සිටි සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු  පිරිසකට එරෙහිව වෙන වෙනම පවරා ඇති නඩු කැදවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරු එලෙස නියම කළහ.

මෙම නඩු කැදවනු ලැබු කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා සහ ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එලෙස නියම කළහ.

මෙම නඩු කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අදාළ අධිකරණයන් හමුවේ පෙනී සිටියහ.

මෙලෙස අධිකරණයේ පෙනී සිටියේ චන්දන පැල්පිට, පියල් අබේසේකර, හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න, ඔහුගේ බෑණා වන උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ, ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ ලක්මිණ මුනිදාස නමැත්තන්ය.

බරපතල සංචා සහ දුෂණ විමර්ශන කොමිසම හමුවේ මුලින්ම මේ පිළිබද තොරතුරු හෙළි වු අතර එහි නිර්දේශ මත රහස් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව නිතීපතිවරයා විසින් විත්තිකරුවන්ට   එරෙහිව   මෙලෙස අධිචෝදනා ගොනු කොට ඇත.බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් සෙවීම සදහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත පවරන ලද මුල්ම නඩුව වන්නේ මෙයයි.

2014 නොවැම්බර් මස 20 වැනිදාත් 2015 ජනවාරී මස 07 වැනිදාත් අතර කාලය තුළ කොළඹ හා මීගමුවේදී ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාව බාරයේ තිබු රජයට අයත් රුපියල් 112,78,000/- (එක් කෝටි දොළොස් ලක්‍ෂ හැත්තෑඅට දහසක මුදලක) වංක ලෙස සිය ප‍්‍රයෝජනයට ගැනීම සදහා කුමන්ත‍්‍රණය කළ බව සියළුම විත්තිකරුවන්ට  එරෙහිව  නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මීගමුව නගර සභා කී‍්‍රඩාංගනයේ අවසන් ජනාධිපතිවරණ රැළිය පැවැත්වීමේදී ඒ පිළිබදව උත්සව සංවිධාන කටයුතු සදහා ‘ඩිස්ප්ලේ මීජියා ඇඞ්වර්ටයිසින්’ ආයතනයට, අවසන් රැළියේදී තොප්පි හා ටීෂර්ට් මුද්‍රණය කිරීම සදහා ‘අර්ජුන ගැෆික්ස්’ ආයතනයට, එල්.ඊ.ඞී. තිරය සදහා සහ සමරු පළකයක් ඉදිකිරීම සදහා ‘ෆන්ට් ඉයර් 7 ඉන්ටර්නැෂනල්’ ආයතනයට අදාළ මුදල් ගෙවීමෙන් විත්තිකරුවන් පොදු දේපළ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදවල් සිදුකොට ඇති බව නීතීපතිවරයා විසින් අධිචෝදනා පත‍්‍රයේ සදහන් කර  ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සදහා ලේඛන 32ක් සහ සාක්කිකරුවන් 26 දෙනෙකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා හමුවේ විභාග කරන නඩුව කැදවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විත්තිකරුවන්ට විදේශගත වීම තහනම් කළ අතර වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට විදේශගත වීමට අවශ්‍ය නම් වෛද්‍ය වාර්තා මාර්ගයෙන් ඒ බව දැනුම් දී ඉල්ලීමක් කරන ලෙසද විනිසුරුවරයා විත්තිකරුවන්ට වැඩිදුරටත් නියම කළේය.

එම නඩුවේ සාක්කි විභාගය ලබන සැප්තැම්බර් මස 27 වැනිදා ආරම්භ කිරීමට විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා වැඩිදුරටත් නියම කළේය

LANKADEEPA