ඇය කලා අංශයෙන් උසස් පෙළ හදාරන සිසුවියකි. රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ ඉගනුම ලබන තරුෂි විදුෂ්කා රාජපක්ෂ පිළිබඳ බීබීසී සිංහල සේවය වෙත කරුණු වාර්තා වූයේ නව නිපැයුම් ක්ෂේත්‍රයේ ඇය දක්වන්නා වූ දක්ෂතා හේතුවෙනි. රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ වැලිමළුව හංදිය අසලින් ඉහළට වැටී ඇති අතුරුපාර ඔස්සේ මද දුරක් ගිය තැන ඇයගේ නිවස පිහිටා ඇත. යන්ත්‍ර කොටස්, ව්ද්‍යුත් උපාංග, යතුරුපැදි අමතර කොටස් ආදී එකී නොකී දෑ ඇයගේ නිවස වටා විසිර ඇති ආකාරය එහිගිය මාහට දක්නට හැකිවිය.
“ආ එන්න ඇතුළට” මා එනු දුටු තරුෂි සහ ඇයගේ පියා නිහාල් වාඩිවී සිටි දොර පඩියෙන් නැගිට ගත්හ.
“ගේ ඇතුළේ හරියට ඉඩක් නැහැ. දුව හදපු බඩුවලින් පිරිලා,” හිඳ ගැනීමට ස්ථානයක් පිළියෙළ කරමින් පියා පවසයි.
පැමිණි කාරණයට මුලපිරීමක් ලෙස තරුෂි වෙත යොමු කෙරුණු පළමු ප්‍රශ්නය වූයේ මේ දක්වා කොපමණ නව නිපැයුම් තිබේද යන්න ය.
“ම්… මම ඉස්සෙල්ලම හැදුවේ රාහු කාලය පෙන්වන ඔරලෝසුවක්. ඊට අමතරව මම නිර්මාණය කර තිබෙනවා වතුර ටැංකියේ ජල මට්ටම පාලනය කරන ස්විචයක්, වැඩි දියුණු කළ මෝටර් බයිසිකලයක්, පෙරහරේ යන අලින්ට පා ආවරණයක්, හොදි හැඳිගාන යන්ත්‍රයක් ඒ වගේම පරිසර හිතකාමී බෑගයක් සහ ලන්ච් ෂීට් වෙනුවට යොදා ගත හැකි පරිසර හිතකාමී බෑගයක්.. ඒ වගේ නිර්මාණ දාහතක් පමණ කර තිබෙනවා,”
තරුෂි අසුනෙන් නැගිට ගොස් යළි පැමිණියේ ඇයට ජාතික මට්ටමේ ජයග්‍රහණ ගෙන ආ නව නිපැයුම් සඳහා පිරිනැමුණු සහතික ගොන්නක් රැගෙනය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බැවින් නව නිපැයුම් බිහි කිරීම සඳහා ගත කරන කාලය සීමා කර ඇති බව ඇය පවසන්නීය.
තරුෂි විසින් මෑතකදී නිර්මාණය කරනු ලැබූ නව නිපැයුම වන්නේ ‘ලන්ච් ෂීට්’ වෙනුවට යොදා ගත හැකි පරිසර හිතකාමී බෑගයකි.
“පොලිතින් පරිසරයට විශාල ගැටලුවක් වෙලා. විශේෂයෙන් ලන්ච් ෂීට්. ඒ සඳහා විසඳුමක් වශයෙන් මම යළි ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී බෑගයක් නිර්මාණය කළා. එය නිර්මාණය කර තිබෙන රෙදි වර්ගය හිරු එළියෙන් ස්වභාවිකවම විනාශ වෙනවා. ඒකෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැ.”
ඇය පවසන පරිදි ‘ලන්ච් ෂීට්’ වෙනුවට යොදා ගත හැකි බෑගය ජාතික මට්ටමේ නව නිපැයුම් අතරට එක්ව තිබෙන අතර ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ඉල්ලුම් කිරීමට නියමිතය.
“ලන්ච් ෂීට් වගේම පොලිතින් බෑග් පරිසරයට ප්‍රශ්නයක්. මම ඒ සඳහා ආදේශකයක් නිර්මාණය කර තිබෙනවා. එම බෑගය පරිසර හිතකාමී දිරා යන ද්‍රව්‍යකින් නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්,”

තරුෂි නව නිපැයුම් නිර්මාණකරණය සඳහා යොමු වී ඇත්තේ සිය පියාගේ මග යමින්ය.
“මම කරලා තිබෙන නව නිපැයුම් ගාන පනහකට වැඩී මම හිතන්නනේ. මම දර යොදාගෙන පාවිච්චි කරන්න පුළුවන් හයිබ්‍රිඩ් ලිපක් හැදුවා. රත්තරන් හොයන්න පුළුවන් මැෂින් එකක් හැදුවා. ඒත් ඒවට අතහිත දෙන්න කවුරුත් නැහැ,” තරුෂිගේ පියා නිහාල් රාජපක්ෂ පැවසීය.
- පොලිතින් තහනම: කළ යුත්තේ කුමක්ද?
- ශ්‍රී ලාංකිකයකුගෙන් ‘තුන් කල් දක්නා’ ආරක්ෂක හිස්වැස්මක්
- කැමරන්ගෙන් ආරාධනා ලත් ලාංකික සිසුවාට තවත් රන් පදක්කමක්
“මට අතහිත දෙන්න කවුරුත් හිටියේ නැහැ. දුව නිපැයූ රාහු කාලය බලා ගන්න පුළුවන් ඔරලෝසුවට පේටන්ට් එක ගන්න බුද්ධිමය දේපල පිළිබඳ කාර්යාලයට අයදුම්පත දාලා අවුරුදු පහක් විතර වෙනවා. දැනට ඒ සඳහා තිබෙන්නේ තාවකාලික පේටන්ට් (Pending Patent) එකක්. බැංකු ගණනාවක් කියලා තියෙනවා පේටන්ට් එක තියෙනවා නම් ඔවුන්ගේ ශාඛා කාර්යාල සියල්ලටම මේ ඔරලෝසුව ගන්නවා කියලා,”
“අගමැතිතුමා කියනවා ව්‍යවසායකයෝ ශක්තිමත් කරනවා කියලා. ජනාධිපතිතුමා කියනවා උගත් අය රට දාලා යනවා කියලා. එහෙම වෙන එක අහන්නත් දෙයක්ද?,”

නිහාල් සිය පවුලේ නිෂ්පාදනයක් වන මී උගුලක් ක්‍රියාත්මක වන ආකාරය පෙන්වීම සඳහා කතාව අතරතුරදීම යුහුසුළු වෙයි.
“මේකෙ තියෙන්නේ පුංචි තාක්ෂණයක්. මීයා අහු වුනාට මැරෙන්නේ නැහැ. අභය දානය දිය යුතුයි කියලා අපි මේ දවටනේ ගහල තියෙනවා. ඒත් මීයා අහු වුනාට පස්සේ මිනිස්සු ඌව මරලා දානවා,”
මාගේ අවධානය යොමු වූයේ වහලයේ එල්ලා ඇති ජලය පිරවූ බෝතලයක් දෙසටය.
කුතුහලය හඳුනා ගත් නිහාල්, “ආ මේක දුව හදපු මදුරු උගුලක්. මදුරුවා මේක ඇතුලේ බිත්තර දැම්මට පිටවෙන්න බැහැ. කීටයන්ටත් පිටවීමක් නැහැ. හැබැයි ඉන්න කාලේ හරි කීටයන්ට ඉඩ ඇතිව ඉන්න ඕනි කියලා දුව ඕකට ටිකක් ලොකු බෝතලයක් දැම්මා,” තරුෂිට ඒ නව නිපැයුම පිළිබඳ සඳහන් කිරීමට අමතක වූවා විය යුතුය.

පියාත් දියණියත් තමන් විසින් කරන ලද නව නිපැයුම් ගෙන එමින් ඒවා ක්‍රියා කරන ආකාරය පෙන්වා දෙති.
මේ අතර තරුෂි “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” යන කියමනට අභියෝග කරන දැරියක් බව වැටහුණේ ඇය චිත්‍ර කලාවේ ද දස්කම් දක්වන සිසුවියක් වන නිසාවෙනි.
උසස් පෙළ විෂයයක් වශයෙන් ඇය චිත්‍ර කලාව තෝරා ගෙන ඇත.
තරුෂිගේ චිත්‍ර


තෙලි තුඩින් දක්වන ලද විස්කම් ඇය මා වෙත පෙන්වන අතරතුර දොර පඩිය මත සිටි තරුෂිගේ පියා අහසට දෑස යොමු කරමින් කියා සිටියේ, “මෙහෙම දරුවෝ දෙමව්පියන්ට වගේම රටටත් සම්පතක්. කවදා හරි තරුෂි රටට ආඩම්බරයක් වේවි,” යනුවෙනි.
කීමට බොහෝ දේ ඇත. නමුත් මා ඔවුනට සමු දුන්නෙමු.
නව නිපැයුම් සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බුද්ධිමය දේපල පිළිබඳ කාර්යාලය වෙත අයදුම් පත්‍රයක් යොමු කළ යුතුය.
ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ එසේ ඉදිරිපත් කරන අයදුම් පත්‍රයක් පිළිබඳ ජාත්‍යන්තර මට්ටමෙන් විමසා බලා පේටන්ට් බලපත්‍රයක් නිකුත් කිරීමට වසර තුනකට ආසන්න කාලයක් ගතවන බවය.

බුද්ධිමය දේපල පිළිබඳ කාර්යාලය එතෙක් තාවකාලික පේටන්ට් බලපත්‍රයක් නිකුත් කරන බැවින් නව නිපැයුම නිෂ්පාදනය කිරීම සඳහා ඉහත කී කාලය බාධාවක් නොවන බවත් ඉහත කී ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර උසස් මට්ටමේ නව නිපැයුම් වාණිජ මට්ටමට රැගෙන ඒම සහ ව්‍යවසායකයන්ට හඳුන්වා දීම සඳහා වැඩසටහනක් සකස් කර ඇති බවඑවක විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
හිටපු අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ 2016 වසරේ පැවති ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය අතරතුර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි
BBC SINHALA