“දුව මට කියලා ගියේ අනිවාර්යෙන් ම පදක්කමක් ගන්නවා කියලා එයා ඒ දේ කළා. දැන් එයාගේ බලාපොරොත්තුව ලංකාවට ඔලිම්පික් රන් පදක්කම දිනා දෙන එක,”
ඒ, සිය දියණියගේ ජයග්‍රහණය ගැන බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් සතුටු කඳුළු වැගුරූ රීටා මාග්‍රට් මව ය.
ඇයගේ බාල දියණී , සඳුදා (ඔක්තෝබර් 15) යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු වරට පදක්කමක් දිනා දීමට සමත්වූ පාරමී වසන්ති මාරිස්ටෙලා ය.
පාරමී සිය රටට කීර්තිය ගෙන ආවේ මේ දිනවල ආජන්ටිනාවේ පැවැත්වෙන තෙවන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනි.
2010 වසරේ ප්‍රථම වරට යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වූ අතර මෙවර එය පැවැත්වුණේ, තුන් වන වරට ය.
පළමු තරගාවලි දෙකේදී ම ශ්‍රී ලංකාවට එකදු පදක්කමක් හෝ දිනා ගැනීමට නොහැකි වූ අතර මෙවර පාරමී වසන්ති මාරිස්ටෙලා දිනා ගත් ලෝකඩ පදක්කමත් සමග යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට හිමි වූ පළමු පදක්කම මෙය වේ.
“ඇත්තට ම මේ හීනෙ දැක්කේ මමත් මගේ පුහුණුකරු ජනිත් සර්. මගේ පුහුණුකරු නිසයි මම මේ තැනට ආවේ. මේ පදක්කම දිනාගන්න ගොඩක් බාධක තිබ්බා, ගොඩක් කැපවීම් කරා. ගොඩක් සතුටුයි මේ ජයග්‍රහණය ගැන” පාරමී වසන්ති ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් කියා සිටියා ය.

“අපි මේ ජයග්‍රහණය දකින්න ගොඩක් සැලසුම් සකස් කළා, ලොකු කැපකිරීමක් කළා. මේ ගමන එන්න විශාල පිරිසක් අපිට උදව් කළා” පාරමීගේ පුහුණුකරු ජනිත් ජයසූරිය පැවසුවේය.
මේ ගැනත් දැනගන්න:
- ශ්‍රී ලංකාවට පදක්කම් හයක්
- ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රිදී පදක්කමක්
- ශ්රීවීඩියෝ ශ්-රී ලංකාවට රිදී පදක්කමක්
හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාරමී වසන්ති මාරිස්ටෙලා, අඹකඳවිල රජයේ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා කුලියාපිටිය මැදි මහ විදුහලේ දැන් අධ්‍යාපනය ලබයි.
“අග හිඟ කම් මැද ලැබු ජයග්‍රහණයක්“

ධීවර පවුලක උපත ලැබූ පාරමීගේ වැඩිමහල් සොයුරිය දක්ෂ මලල ක්‍රීඩිකාවක වන නිශාන්ති දිල්හානි ය. ඇය ද ජාතික මට්ටමේ මෙන් ම ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනු ක්‍රීඩිකාවකි.
“දරුවෝ දෙන්නා ක්‍රීඩාවට යොමු කළේ පුළුවන් කමකට නෙමෙයි, මාළුයි බතුයි කාලා දෙන්නා රටේ විතරක් නෙමෙයි දැන් ලෝකයේත් නම තියලා තියනවා, ඒක ලොකු ආඩම්බරයක් අපිට”
“මේ දෙන්න ක්‍රීඩාවට යොමු කරන්න අපි දස දුක් වින්දා. සමහර විදේශ සංචාර යද්දී ගමේ ජනතාව ගෙවල් ගානේ ගිහින් සල්ලි එකතු කරලා දුන්නා ” පාරමීගේ මව පැවසුවාය.

තම දියණියන් දෙදෙනා ක්‍රීඩාවට යොමු කිරීම සඳහා තමන් ජිවත් වන නිවස ද උකස් තබා ඇති බව ඇය ප්‍රකාශ කළේ ඉතා දුක්බර හඬකිනි.
අඟ හිඟ කම් මැද අවම පහසුකම් යටතේ තම දියණිය ලද ජයග්‍රහණය ගැන ඉතා සතුටු වන බව ධීවර රැකියාවේ නියුතු පාරමිගේ පියා අන්තෝනි ටියුඩර් ප්‍රනාන්දු පැවසුවේය.
කුමන කැපවීමක් කර හෝ ඇයගේ ඉදිරි ක්‍රීඩා දිවිය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පවසයි.
“කොහොම හරි ලෝකේ අංක 1 වෙන්න කැපවෙන්න ඕනේ, ඒ සඳහා ඕනෑ ම කැපවීමක් කරන්න අපි ලෑස්තියි,” ඔහු කියා සිටියේය.
පසුගිය ජුනි මාසයේ ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනාගැනීමටද පාරමී වසන්ති සමත් වූ අතර එම තරගාවලියෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඇය සිය දෙමාපියන්ට විශේෂ ස්තුතියක් ද කළා ය.

“කොච්චර අපහසුතා තිබුණත් මම මොනව ද ඉල්ලන්නේ ඒ දේ තාත්තා කරනවා, ණය වෙලා හරි කරනවා, ඒ දෙන්න නැත්නම් මේ තැනට මම එන්නේ නැහැ,” ඇය හැඟීම්බරව එහිදී කියා සිටියා ය.
හලාවත, අඹකඳවිල මුහුදු තීරයේ පුහුණුවීම් කරන මේ අක්කා-නගෝ දෙදෙනා එම ප්‍රදේශ වාසීන් අතර ඉතා ජනප්‍රිය ය.
පාරමී වසන්ති මාරිස්ටෙලා 2017 වසරේ ශ්‍රී ලංකා යොවුන් කාන්තා රග්බි කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩිකාවක් වීම විශේෂත්වයකි.
2007 සුසන්තිකා ජයසිංහ ලෝක මලල ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා ගත් පසු ලෝක මට්ටමේ තරගාවලියකදී ශ්‍රී ලංකාව දිනා ගත් පළමු පදක්කම ලෙස පාරමී දිනාදුන් පදක්කම සටහන් වේ.

ශ්‍රී ලංකාව පසුගිය මාසයේ අවසන් වූ ආසියානු තරගාවලියේ ද කිසිදු පදක්කමක් දිනා ගැනීමට සමත් නොවූ අතර ආසියානු තරගාවලියේ පවා ශ්‍රී ලංකාව අවසන් වරට මලල ක්‍රීඩාවෙන් පදක්කම් දිනා තිබුණේ 2006 වසරේදී ය.
සෙනිරු අමරසිංහට සිව් වන ස්ථානය

මෙවර යොවුන් ඔලිම්පික් තරගාවලියේ පාරමීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කළ යොවුන් ක්‍රීඩක සෙනිරු අමරසිංහ ක්‍රීඩා උළෙලේ උස පැනීම පිරිමි ඉසව්වේදී සිව් වන ස්ථානයට පත්විය.
ඔහුට ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට තිබු අවස්ථාව අවාසනාවන්ත ලෙස මගහැරී ගියේ ය.
කොළඹ රාජකීය විදුහලේ ශිෂ්‍යයෙකු වන සෙනිරු අමරසිංහ එහිදී මීටර 2.14 ක උසක් පනිමින් ඔහුගේ තරග දිවියේ හොඳ ම දක්‍ෂතාව වාර්තා කිරීමට සමත් විය.
BBCSINHALA