“මට වේගයෙන් දුවන එක නවත්තනන සිද්ද වුණා. නමුත් මම අධෛර්යමත් වුණේ නැහැ. ඒ වෙනුවට වේගයෙන් ඇවිදීම පුහුණු වුණා. හේතුව 2017 දී මට හදවත් රෝගයක් හැදුණා.”
කැලණිය, ගෝනවල ප්‍රදේශයේ වාසය කරන ටිල්සන් විජේ දේශීය සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලින් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක් ලබා දුන් ක්‍රීඩකයෙකි. අලුත්ගම, කලුවාමෝදර ප්‍රදේශයේ උපත ලද ඔහු සිය ක්‍රීඩා දිවිය ඇරඹුවේ අලුත්ගම මහා විද්‍යාලයෙනි.
“ඊට පස්සේ ‘බයිපාස්’ සැත්කමකට මුහුණ දෙන්න සිදුවුණා. ක්‍රීඩාවේ යෙදෙන්න එපා කියලා වෛද්‍යවරු කිව්වත්, මට ඒක අතාරින්න හිත දුන්නේ නැහැ.”
පාසල් සමයෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී රැකියාවේ නිරත වන අතරතුර මලල ක්‍රීඩා ඉසව්වලින් උපරිම දක්ෂතා පෙන්වීමට ඔහු සමත් වී තිබේ. පසුව ඕමාන් රාජකීය හමුදාවේ ද සේවය කළ ටිල්සන් විජේ, නැවත සිය රටට පැමිණ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ කළමනාකරු වශයෙන් සේවය කර ඇත.
ටිල්සන් වයස 35 සිට ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරග ඉසව් සඳහා පුහුණුවීම් කරමින් විවිධ තරග සඳහා ඉදිරිපත් වී තිබේ.

“ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගයේ මීටර 100 සහ 200 යන ඉසව්වලින් පළමු සහ දෙවෙනි ස්ථාන හිමිකරගත්තා. මම පුංචි කාලේ ඉඳන් තරග කළේ මේ ඉසව්වල. ක්‍රීඩාවට තියන ආසාව නිසාම මට වෙන රැකියා ලැබුණත්, දිගටම සුගතදාස ක්‍රීඩාංගණයේ කළමනාකරු විදියට වැඩ කළා” යැයි ටිල්සන් විජේ බීබීසී සිංහල සේවයට පැවසීය.
“විශ්‍රාම ගියත් මම ක්‍රීඩාව අත්හැරියේ නැහැ. මට දැන් වයස 70යි, ඒත් තවම ක්‍රීඩා කරනවා. මම දන්න අනිත් හිටපු ක්‍රීඩකයන්වත් උනන්දු කරනවා.”
ඔහු සිය ප්‍රථම ජයග්‍රණය වාර්තා කළේ 1964 දී පාසල් මට්ටමෙන් පැවැත්වුණු මීටර 100 දිවීම තරගයක දීය. ඉන්පසුව 1965 දී දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රහණ ලබා ගත් ටිල්සන් විජේ, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රිකට්, රගර් සහ බොක්සිං ක්‍රීඩාවල ද නිරත වී තිබේ.
1997 සිට මේ දක්වා සෑම වසරකම ජ්‍යෙෂ්ඨයන් සඳහා පැවැත්වූ ජාතික මලල ක්‍රීඩා තරගාවලදී මීටර 100 සහ 200 දිවීමේ ඉසව්වලින් රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට ඔහු සමත් විය.

“වයස 35න් ඉහළ අය තමයි මෙම ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි වෙන්නේ. 1997 දී මම වයස 35-40 කාණ්ඩයේ මීටර 100 රන් පදක්කම දිනා ගත්තා. මීටර 200 රිදී පදක්කම දිනා ගත්තා. ඒ වගේම වයස 55-60 සහ 60-65 යන කාණ්ඩවලිනුත් එම ඉසව්වලටම රන් සහ රිදී පදක්කම් දිනා ගත්තා,” යැයි ඔහු පැවසීය.
මේ අනුව 65-70 වයස් කාණ්ඩයේ මීටර 100 දිවීම ඉසව්ව තත්පර 13.07කින් නිම කරමින් ශ්‍රී ලංකාවේ වේගවත්ම ප්‍රවීණ ධාවකයා බවට ටිල්සන් පත් විය.
2009 වර්ෂයේ දී තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වූ ප්‍රවීණයන්ගේ ආසියානු මලල ක්‍රීඩා තරගයේ දී මීටර් 100 x 4 කඩින් කඩ දිවීමේ තරගයෙන් රන් පදක්කමත්, මීටර 100 දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම සහ මීටර 200 දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට අත්කර දීමට විල්සන් විජේ සමත් වුණි.
මෙසේ දිගින් දිගටම ජාත්‍යන්තර සහ ජාතික තරගවලින් ජයග්‍රහණ අත්කර ගත් ඔහුට 2017 වර්ෂයේ දී කටුක අත්දැකීමකට මුහුණ දීමට සිදු විය. ඔහුට හදිසියේ වැළඳුණ හෘදයාබාධයක් හේතුවෙන් ‘බයිපාස්’ සැත්කමක් කිරීමට සිදු විය.

නමුත් ක්‍රීඩාවට ඇති දැඩි කැමැත්ත හේතුවෙන් එය අත්හැරීමට ඔහුගේ මනාපයක් නොවීය. සැත්කමෙන් පසු ක්‍රමයෙන් සුවය ලැබූ ටිල්සන් විජේ නැවතත් ශාරීරික අභ්‍යාසවල නිරත වීම ආරම්භ කළේය.
එහෙත් පෙර මෙන් දැඩි වෙහෙසකාරී අභ්‍යාස කිරීම සහ දිවීම වෛද්‍ය උපදෙස් මත නැවැත්වීමට ඔහුට සිදු විය.
කෙසේවෙතත්, දිවීම වෙනුවට වේගයෙන් ඇවිදීම පුහුණු වූ ටිල්සන් විජේ නැවතත් ප්‍රවීණයන්ගේ තරග සඳහා ක්‍රීඩා පිටියට අවතීර්ණ විය.
2018 වසරේ දී ප්‍රවීණයන්ගේ ලෝක මලල ක්‍රීඩා උළෙල සඳහා පැවැත්වූ තේරීම් තරගවල දී ඇවිදීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය.
නමුත් ආර්ථික අපහසුතා හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මස පැවැත්වූ ප්‍රවීණයන්ගේ ලෝක මලල ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ඔහුට නොහැකි විය.

“ඒත් මම පසුබට වෙන්නේ නැහැ. කෙසේ හෝ ලබන වසරේ දී පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා උළෙලට සහභාගි වෙනවා. ඒ සඳහා මම කැලණිය පොල්හේන ක්‍රීඩා පිටියේ තවත් යහළුවෝ පිරිසක් එක්ක පුහුණුවීම් කරනවා. තරගාවලි ආසන්න වෙනකොට මම සුගතදාස ක්‍රීඩාංගණයට ගිහින් පුහුණු වීම කරනවා,” ඔහු පැවසුවේය.
කෙතරම් බාධක පැමිණියත් නොපසුබට උත්සාහයෙන් සිය ජීවිතයේ ඉලක්ක කරා ගමන් ගන්නා ආකාරය ගැන මෙම ප්‍රවීණ ක්‍රීඩකයා නව පරපුරට ඔවදන් කිහිපයක් ද දුන්නේය.

“සාමාන්‍ය ජීවිතයේ අපි ස්වභාවධර්මයත් එක්ක ජීවත් වෙනකොට නොයෙක් අපහසුතාවන් ඇති වෙනවා. ලෙඩ දුක් හැදෙනවා. නමුත්, ඒවායෙන් අපි පසුතැවෙන්න හොඳ නැහැ. මට අවුරුදු හැත්තෑවක්. මගේ වයසේ අනික් අයටත් කියන්නේ ක්‍රීඩාවකට යොමු වෙන්නේ කියලා.”
“ක්‍රීඩාවේ යෙදීමෙන් ශාරීරික සහ මානසික සුවයක් ලැබෙනවා. හදවත් රෝග තිබුණා කියලා පසුබසින්න එපා,” ටිල්සන් විජේ පැවසීය.
ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ කුමන කාලයකදී දැයි විමසූ විට එයට සිනහවකින් පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ සිය ජීවිතය අවසන් වනතුරු ක්‍රීඩාවේ යෙදීමට බලාපොරොත්තු වන බවය.
BBCSINHALA