ඇමරිකාව අකර්මන්‍ය වෙයි

-

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)


ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය කටයුතු සිකුරාදා (19) රාත්‍රීයේ සිට අකර්මන්‍ය වී තිබේ. රජයේ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට සෙනට් සභාවේ අනුමැතිය හිමි නොවීම එලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ කටයුතු අකර්මන්‍ය වීමට හේතු වී තිබේ. 

පනත් කෙටුම්පත සම්මත නොවීම හේතුවෙන් රජය විසින් රාජ්‍ය කටයුතු පවත්වාගෙන යෑම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම නවතා දමනු ලැබ තිබේ.

පෙබරවාරි 16 වැනිදා රජයේ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරන පනත් කෙටුම්පත සම්මත වීම සඳහා අවශ්‍ය ඡන්ද 60 නොලැබීම මෙලෙස රජයේ කටයුතු අකර්මන්‍ය වීමට හේතු විය. 

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිධුරයේ දිවුරුම් දී වසරක් පිරෙන අවස්ථාවේදී රජයේ කටයුතු මෙලෙස අකර්මන්‍ය වීම විදෙස් මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට පත්විය.

රිපබ්ලිකන් පක්ෂය ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභාව සහ ධවල මන්දිරය යන දෙකේම පාලනය හොබවන අවස්ථාවකදී මෙලෙස රජයේ කටයුතු අකර්මන්‍ය වූ පළමු අවස්ථාව මෙයයි.

තමන්ගේ ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂය ජනතාව ඇපයට තබා ඇතැයි රිපබ්ලිකන් පක්ෂය ඩිමොක්‍රටික් පක්ෂයට චෝදනා කරයි. 

“ඩිමොක්‍රටික් පක්ෂය අපගේ ජාතික ආරක්ෂාව, හමුදා පවුල්, අවශ්‍යතා ඇති දරුවන් මෙන්ම ඇමෙරිකානු ජනතාවට සේවය කිරීමට තිබෙන හැකියාව අවදානමට ලක් කරලා. ඔවුන් ජනතාව ඇපයට තබාගෙන” යැයි  ධවල මන්දිර ප්‍රකාශික සාරා සැන්ඩර්ස් චෝදනා කළාය.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ ද්විපක්ෂ එකඟතාවලට අනුකූල නොවෙමින් ඊට පරස්පර ලෙස කටයුතු කළ බවට සෙනට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂ නායක චක් ෂූමර් චෝදනා කළේය. 

රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය අතර ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් බෙදීම් ඇති වීම හේතුවෙන් රජයේ කටයුතුවල මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙන නව අයවැය සම්මත නොවීය. පනත් කෙටුම්පතට පක්ෂව සහ විපක්ෂව ඡන්ද කොතරම් ලැබුණේ ද යන්න වාර්තා නොවීය.


පනත් කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද 230ට 197ක් ලෙසින් සම්මත වුවද සෙනට් සභාවේ දී අවමය වන 50ට 49 ලෙසින් හෝ සම්මත නොවීය.

 

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here