සමහරු පොහොට්ටුව පාරේ ඇවිද්දවන බව කිව්වා – අපිට ඕනෑම කෙනෙකුට සමාව දෙන්න පුළුවන් බැසිල් රාජපක්ෂ

-

වැරදි කළ අයට සමාව දිය හැකි වුවද ඔවුන් කළ වැරදි අමතක කළ නොහැකි යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරනය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පොහොට්ටටුව පාරේ ඇවිද්දෙව්වා කිව්ව අයත් අද පොහොට්ටුව ලකුණට පැමිණ සිටින බවයි. පොහොට්ටුව පැරදුනොත් රටක් ඉතිරි නොවන බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා අඩුපාඩු හදාගෙන ඉදිරියට යාම අපෙක්ෂාව බවද පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ “ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් වේයන්ගොඩ, නයිවල ජයසිංහ සිටි සෙන්ටර් හිදී ඊයේ (11) පැවැති උත්සවය අමතමිනි.

“ප්‍රසන්න” පොදුජන අරඟලයේ නොකී කතාව ග්‍රන්ථය “දිනමිණ” පුවත්පතේ මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර මහතා විසින් රචනාකර තිබෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2015 වසරේ ජනවාරි මස 8 දා පැවැති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව පසුගිය 2019 වසරේ නොවැම්බර් මස 16 දා පැවැති ජනාධිපතිවරණය තෙක් කාල පරිච්ඡේදි ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ දායකත්වයෙන් මෙම ගෘන්තය මගින් අනාවරණය කරයි.  සිදුකළ අරඟලය කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා දකින ආකාරය මෙම ග්‍රන්ථය මඟින් පෙන්වාදෙයි.

එහිදී වැඩිදුරටත් අඳහස් පළකළ බැසිල් රාජපක්ෂ මහතා,

ප්‍රසන්න රණතුංග මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නොකී කතා ගොඩක් කියන්න පුළුවන්. ඒ මහතා තමයි මේ පක්ෂය නිසි මඟ ගන්නටත් එඩිතර තීන්දු තීරණ විටින් විට ගන්න මට සිටි ප්‍රධාන කෙනෙක්. මොකක් හෝ සිදුවන විට මම ප්‍රසන්නගේ ඉරියව් බලනවා. ප්‍රසන්න අපිට වඩා ජනතාව සමඟ සිට හරි දේ කියනවා. අපි තරඟ කරන්නේ මොන ලකුණින් ද කියා අපි බැලුවා. මට ප්‍රසන්න තමයි මුලින්ම කිවුවේ අනිවාර්යෙන් අපි පොහොට්ටුවෙන් තරඟ කරන්න ඕන කියලා. පළාත් පාලන ආයතනවලටත් තරඟ කරන්නත් මිනුවන්ගොඩින් තමයි යෝජනාව සම්මත කර ගත්තේ. අපිට ප්‍රසන්නගේ නොකියන කතාව කියවන්න ආසයි. එතුමා අපිට අමතක කරන්න බැරි කාර්යයක් පසුගිය ජනාධිපතිවරණයේ දී කළා. ඇත්තටම ඒ මැතිවරණායේ දී අපි දිස්ත්‍රික්ක සාකච්ඡා කරනවිට අපි උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කවලින් විශාල ලෙස පසුබසින බව දැන සිටියා. ඒ අවස්ථාවේ ප්‍රසන්න කිවුවා ගම්පහින් ඒ සියල්ල පරාජය කරන්න අවශ්‍ය ඡන්ද අරන් දෙනවා කිවුවා. ඒක ඒ ආකාරයෙන්ම ඉටුකළා. ඒකට සහාය දුන් සැමට මගේ ගෞරවය පිරිනමනවා. ප්‍රසන්න රණතුංග මහතා හොඳින් තමන්ට පැවරෙන වැඩ කොටස ඉටුකරනවා. ජනතාව සමඟ ඉන්නවා. ඔහු ජනතා උපාධිය ලැබූ කෙනෙක්.

 

ඒ සඳහා ඒ මහතාට තමන්ගේ බිරිඳගේ සහායත් ලැබෙනවා. දියණියගෙනුත් විශාල ශක්තියක් ලැබෙනවා. හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. දිස්ත්‍රික්කයේ සියලු දෙනා නියෝජනය කරමින් ඒ කාර්යය කරනවා. ඒ ශක්තිය තමයි ගොඩක් වැඩ කරන්න අවස්ථාව ලැබී තිබෙන්නේ. මේ අය දක්වන සහාය අපි අගය කරනවා. අපිට දැන් මේ පක්ෂය පිහිටුවලා ජාතික මැතිවරණ දෙකකට මුහුණ දුන්නා. ඒ දෙකම අපි ජය ගත්තා. මුලින්ම පළාත් පාලන ඡන්දය, දෙවැන්න ජනාධිපතිවරණය. අපි දැන් තෙවැනි ඡන්දයට පැමිණ තිබෙනවා. පසුගිය කාලයේ අපි පළාත් පාලන ඡන්දයට යනවිට මහින්ද අගමැති කරමු කියා පෝස්ටර් ගැසුවා මම දැක්කා. එම ඡන්දයෙන් මහින්ද අගමැති කරන්න නොහැකි බව හොඳටම දන්නවා. නමුත් ඒක තමයි බලාපොරොත්තුව අපි ඇති කළේ. ජනාධිපතිවරණය කරද්දී රටට අවශ්‍ය සංවර්ධනය, ආර්ථිකය, ජනතා අපේකෂාවන් ඉටුකරන්න පුළුවන් වෙයි කියා කිවුවා. නමුත් අපිට ඒක කරන්න අපහසු බව අපිට පෙනුනා. එක්සත් ජාතික පක්ෂය හොඳටම දැන සිටියා ඒ අය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වන බව. ඒ නිසාම සෑම ආණ්ඩුවක්ම නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් නොකර සිටියා. එය සිතාමතා කළේ. ඔවුන් දැන සිටියා නොවැම්බර් මාසයේ 17 දා පත්වන ජනාධිපතිවරයාට මාර්තු මාසයේ පළමු වැනිදා වනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ කියා. පාර්ලිමේන්තුව සතු මුදල් බලය නොමැති නම් මේ රටේ ජනතාවට අවශ්‍ය සේවාවන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඒ නිසාම ඔවුන් අයවැය ඉදිරිපත් නොකර සිටියා පමණක් නොව අයවැයේ සඳහන් නොවුණු බොහෝ වැඩ මැතිවරණ සමයේ කළා. ඒ වෙනුවෙන් විශාල මුදලකට රජය සිරවුණා. ඒ අවස්ථාවේ ඇමැතිවරු මහන්සි වී රජය බාරගත් හිස් භාණ්ඩාගාරය සහ කඩා වැටුණු ආර්ථිකය යම් ආකාරයට ගෙනයන්න උත්සාහ ගත්තා. නමුත් ප්‍රතිපාදන නොමැතිකමින් සිරවී තිබුණා. එතන දී පැහැදිලිව දැක්කා ඉතා ඉක්මණින් මහා මැතිවරණයකට ගොස් එහි බලය අපි ලබාගත යුතුබව. අන්න ඒ කාර්යය අද වනවිට ඇතිව තිබෙනවා. අද සුබ මොහොතින් අපේ දිස්ත්‍රික් නායකයින් නාමයෝජනා අපි අත්සන් කළා. ඒ අත්සන් කළේ පොහොට්ටුව ලකුණින්. වෙන අයත් අපි සමඟ ආවා. ඒ අයත් පොහොට්ටුව පාරේ ඇවිද්දවනවා කිවුවා. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. අපිට ඕන කෙනෙකුට සමාව දෙන්න පුළුවන්. නමුත් අපි අමතක කළයුතු නැහැ. අපි අමතක කරන්නෙත් නැහැ. අපි අමතක කරන්නේ නම් හරිමඟ යන්නේ නැහැ. මේ ඡන්දයෙන් පත්වන මැති ඇමැතිවරු සමඟ අපි කටයුතු කරන්න ඕන. අපිට වගකීම් රාශියක් තිබෙනවා. ඉදිරියේ දී පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, නගර සභාවට, ප්‍රාදේශීය සභාවට යන සියලු දෙනාටම මේ වගකීම හරියට කරන්න ඕන. අපිට තවත් වරක් පරදින්න බැහැ. පැරදුනොත් ආයෙත් රටක් ඉතිරි වන්නේ නැහැ. අපි ළඟ යම් යම් අඩුපාඩු ඇති. ඒවා විසඳාගෙන ඉදිරියට යන්න ඕන. අපේ පක්ෂය බොහොම විවෘතයි. අපේ අඩුපාඩු හදාගෙන ප්‍රසන්න වැනි අය සමඟ ඉදිරියට යමු. ඉහළම ඡන්ද ප්‍රමාණයකින් ගම්පහ දිස්ත්‍රික්කය දිනාගත යුතු වෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි,

දිඟු කලක සිට ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පවුලේ අය සමඟ අපි සමීප සබඳතා තිබෙනවා. අපි ළඟ ලෙන්ගතු සබඳතා තිබෙනවා. ප්‍රසන්න රණතුංග මහතා මහ ඇමැතිවරයා වශයෙන් සිටින කාලයේ දී අපි විශාල වැඩ කොටසක් කළා. අපි ගුරු පුහුණු වැඩසටහන් සිදුකළා. 1815 වසරේ මාර්තු මාසයේ 3 දා උඩරට ගිවිසුම අත්සන් කළා. එදා දක්වා අපේ රට එක් රටක් වශයෙන් තිබුණා. එතැන් සිට 1948 දක්වා තිබුණේ වෙනත් රටක් නමුත්. අද දක්වා තිබෙන්නේ වෙනත් රටක්. රටවල් තුනක්. එකම එක බිමක්. ඉතාම නරක කළු වැල් අකුරු වලින් අත්සන් කළ උඩරට ගිවිසුම අපි දන්නවා. ගිවිසුම් දෙකයි මාර්තු මාසයේ අත්සන් කර තිබෙන්නේ. රට පාවා දුන් ගිවිසුම. අනෙක තමයි සමඟ ජන බලවේගයේ ගිවිසුම. මේ හැම එකකම ‍‍ඵෙතිහාසික සබදතා තිබෙනවා. ප්‍රසන්න රණතුංග මහතා කියන්නේ අපේ දිස්ත්‍රික්කයේ ලකුණක්. පුද්ගලයෙකුට වඩා එය ප්‍රසන්න සළකුණක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිකම කරද්දී එතුමා ළඟ සිටිය යුතු පිරිස ගැන අපි සිතන්න ඕන.

උගතුන් වියිතුන් පාර්ලිමේන්තුවට යන්න ඕන. ඔබ වහන්සේ කියන්නේ මොකක් ද කියා මගෙන් අහනවා. පාර්ලිමේන්තුවට උගතුන් නොයා යුතුයි කියා මගේ අදහසක් නැහැ. පාර්ලිමේන්තුවට යායුතු අය අතර පළමුවන නිර්නායකය රටට ආදරය තිබිය යුතුයි. එහෙම රටට ආදාරය තිබෙන කෙනා උගතෙක් නොවුණත් කමක් නැහැ. රට ගැන සිතන කෙනා වියයුතුයි. රටේ නායකයා උගතුන් එක්කර ගන්න පියවර ගත යුතුයි. මේ දිනවල රැල්ලක් තිබෙනවා. උගතුන් සහ බුද්ධිමතුන් කියන්නේ එක් කණ්ඩායමක් නොවෙයි. උගතුන් බුද්ධිමතුන් නොවෙන්නත් පුළුවන්. කල්පනාවෙන් කටයුතු කරන්න හැකි පිරිසක් ජනාධිපතිවරයා වටා සිටිය යුතු වෙනවා. වැඩක් කරන කෙනා නිර්මාණශීලී කෙනෙක් වෙන්න ඕන. ජනාධිපතිවරයෙකුට ඕන වෙන්නේ වැඩ කරන්න ඕන කෙනෙක්. බීරබල් මතක් වෙනවා. දේශපාලනය සංසරණය වන විදිය දෙස බලනවිට කිසියම් දෙයක් අතිරික්තයක් ලෙස ඉතිරි වන්න පුළුවන්. මෙවර පක්ෂ අභ්‍යන්තර අර්බුදය හා පක්ෂ අතර අර්බුදය කියන එක වෙනදාට වඩා වෙනස්. ඒ නිසා අතිරික්ත ඡන්දයක් තිබෙනවා. එය පැහැර ගන්න පුළුවන්. මේ ගැන සිතිය යුතු වෙනවා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති හඟුරන්කෙත චන්ද්‍රරතන නාහිමි,

කොළඹ ආනන්දයෙන් බිහිවුණු විශිෂ්ඨ චරිත ලෝකය පුරාම ජීවත් වෙනවා. ප්‍රසන්න රණතුංග මහතා අපේ විද්‍යාලයෙන් බිහිවුණු විශිෂ්ඨ චරිතයක්. රණතුංග චරිත ආනන්දයෙන් බිහිවුණු වාසනාවන්ත චරිත වෙනවා. මේ අය විවිධ තනතුරු නියෝජනය කරනවා. මේ ග්‍රන්ථය පොදුජන අරඟලයේ නොකී කතා අතර ප්‍රසන්න රණතුංග කිසිිඳා පක්ෂය අතහැර ගියේ නැහැ. නොබියව තනිව සටන් කළා. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ගමන් මඟ ඔස්සේ ගමන් කරමින් තමන්ට ශක්තියත් වූ අමතක නොකර ඉදිරියට ගමන් කරනවා. පූජනීය සේවයක් ගම්පහ දිස්ත්‍රික්කයට ඉටුකරනවා. අද මේ ග්‍රන්ථය තුළ ප්‍රධාන චරිතය වන්නේ ප්‍රසන්න රණතුංග මහතායි. දිස්ත්‍රික්කයේ සෑම විහාරස්ථානයකටම විශාල සේවයක් සිදුව තිබෙනවා. ආනන්දයෙන් බිහිවුණු පූජනීය චරිතයක් වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අපි ළඟින් ඇසුරු කරනවා. ඒ මහතා නිහතමානී කෙනෙක්. බුදුවරු මඟ පෙන්වනවා. ඒ මඟ අපි ගමන් කළයුතු වෙනවා. ඒ උදාර ගමනට ප්‍රසන්න රණතුංග මහතාට ලොකු වගකීමක් තිබෙනවා.

පොදුජන අරඟලයේ නොකී කතා රාශියක් අපිට අහන්න ලැබෙයි. අපේ ආශිර්වාදය ප්‍රසන්න රණතුංග මහතාට නොඅඩුව ලැබෙනවා. සමාජයට විශාල මෙහෙයක් ඉටුකරන්න ලොකු වගකීමක් තිබෙනවා. ඉදිරියේ දී නාම යෝජනා ලැබුණු පසුව දිස්ත්‍රික්කයට විශාල සේවයක් ඉටුකළ යුතු වෙනවා. අප්‍රේල් 25 පැවැත්වෙන මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගත යුතු වෙනවා. අපි ඒ වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.

හිටපු රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා,

හැම අරඟලයකම නොකී කතාවක් තිබෙනවා. එහි මතුපිට දිගහැරියාම ක්‍රියාදාමය වැසී යනවා. පර්යේෂකයන්ට සිදුවෙනවා එහි යටිතලයේ අන්තර් සම්බන්ධය පිළිබඳ නොකී කතාව කියන්න. අපිට ජාතික නිදහස්, ජාතික ආරක්ෂාව, දුප්පත් ජනතාව පිළිබඳ ප්‍රශ්නය තිබුණා. රට ඒකීයව තබා ගැනීමේ ප්‍රශ්නය තිබුණා. මෙවැනි ප්‍රශ්න ගොඩක් මැද බැංකු හොරකමේ ප්‍රශ්නයත් ආවා. මේ රටේ විවිධ ව්‍යාපාති හරහා ගසා කෑ විශාල ධනස්කන්ධය පිළිබඳ ප්‍රශ්නය තිබුණා. මෙවැනි ප්‍රශ්න වැළක් අපිව වට කරගෙන තිබුණා. ඒ කරුනුවලට එරෙහිව තමයි ජනතා ව්‍යාපාරයක වුවමනාව තිබුණා. 2015 අපිව පරාජය කිරීමෙන් පසුව නිහඩ වූ බලවේගය නැවතත් හඩනඟා නැගිට්ටා. ඔවුන් අපේක්ෂා කළේ අපි යටත් වෙයි කියලයි. නමුත් ජනතාව නැවතත් අභියෝග කරමින් නැඟිට්ටා. මහින්ද මන්තරය මේ වෙනුවෙන් අවශ්‍ය වුණා. මහින්ද සුළඟ නැඟී සිටින්න එදා පියවර ගත්තා.

එය අලංකාරයෙදුමක්. ඒ සමඟ එහි ප්‍රබලත්වයක් ඇතිවුණා. ඒ සමඟම අලුත් ගැම්මක් ඇති බලයක් පැමිණ මහින්ද මහත්තයා කරලියට එනවා. එතනින් අලුත් අරඟලය ආරම්භ වුණා. විශාල පෙරළියකට මුල පිරුවා. එයින් අනතුරුව එළිදැක්වුණු දේ අපි දන්නවා. සියනෑ කෝරළයේ භාරකාරත්වය ප්‍රසන්න රණතුංග මහතාට බාරවී තිබෙනවා. ඔහුගේ පියා නිසා ඔහුට බාරවී තිබෙනවා. පියාගත් මාවතේ තවත් ඉදිරියට යමින් ඔහු බාරගත් වගකීමක් තිබෙනවා. ජිනීවා නුවර අපේ රටේ තීන්දු ගැනීමේ අයිතිය අහිමි කරන ගිවිසුම්වලට මේ රට යන්න දෙන්න බැහැ. පොලීසිය, නීතිය හා අධිකරණයට මැදිහත්වීම් කරන්න දොරවල් විවෘත කරන්න බැහැ. අපිට ශත වර්ෂයකට අහිමිවී ගිය දේපල අහිමි වන්නට නොව ඒවා නැවත අත්පත් කර ගන්න අපි කටයුතු කළයුතු වෙනවා. අපේ රටේ දුප්පත් ජනතාට ජීවත් වන්නට හැකි වැඩපිළිවෙලක් ඇති කළයුතු වෙනවා. අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය විදිියට අපේ භූමිය හසුරුවන්න දෙන්න බැහැ.

අපි ජනාධීපතිවරණයේ දී, පළාත් පාලන මැතිවරණයේ දී ලබාගත් ජයග්‍රහණයට වඩා එළඹෙන මහා මැතිවරණයේ දී ජයගත යුතු වෙනවා. ඒ තුළින් රට අවාසනාවන්ත තත්ත්වයට යන එක නතර කරන්න පුළුවන්. අද වනවිට ලෝකය පුරා වෛරස් තත්ත්වයක් තිබෙනවා. ලෝකයේ කොටස් වෙළෙඳ පොලේ බිඳවැටීමක් තිබෙනවා. මේ තත්ත්වය අපි අවබෝධ කරගත යුතු වෙනවා. ජාතික නිදිහස හා ජාතික සම්පත් පාවා දෙන්න ක්‍රියාත්මක වූ බලවේගවලට මේ ඇතිවී තිබෙන ලෝක තත්ත්වයේ වාසිය නෙළා ගන්න් දෙන්න බැහැ. මේ අවස්ථාව අපිට ඉතාම තීරණාත්මකයි. අරඟලයක ප්‍රධානම සාධකය වන්නේ අභ්‍යන්තරික සංවිධාන බලයයි. අද නැවත අපි ඉදිරියේ නොනිමි අරඟලයක් තිබෙනවා. අරඟලය නිමා වුණා කියා සිතාගෙන මේ කතාව කියන්න බැහැ. ඉතිහාසයේ අනාගත පරිච්ඡේදය ලියවෙන්නේ ඉදිරියටයි. අපි මේ අභියෝගයට මුහුණදෙන ආකාරය අනුව එය ලියවෙනවා. මේ මැතිවරණයෙන් ලබාගන්නා ප්‍රතිඵලය ලෝකය අපි ගැන දක්වන ආකල්පය වෙනසක් ඇතිකර ගන්න පුළුවන් වෙනවා.

සටන් බිමේ දැවැන්තයෙක් ලෙස ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පරිවාර මැති ඇමැති බලවේගය මේ දිස්ත්‍රික්කයේ පෙර දිනෙක ඇතිකළ පෙරළිය තවත් ඉදිරියට ගෙනයමින් අපිට සෞභාග්‍යයේ පෙරළිය උදාකර ගැනීම සඳහා ජනබලය පෙලගැස්සවීම සඳහා පියවර ගතයුතු වෙනවා.

අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා,

ඉතාම කෙටිකලක් තුළ මේ වැඩසටහන සංවිධානය කළා. දිනය පිළිබඳ නොයෙක් මතවාද තිබුණා. ප්‍රමාද කළොත් මැතිවරණයට බාධාවක් වන නිසා ඉතා ඉක්මණින් සංවිධානය කරන්න කටයුතු කළා. අද වෙනදාට වඩා වෙනස් ආරාධනාවක් කළේ. මේ ආරාධනාව කළේ විශේෂයෙන්ම මේ අරඟල කාලසීමාව තුළ අරගලය සම්බන්ධයෙන් නොකියපු හා මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර මහතා රචනා කළ ග්‍රන්ථය තුල සිදුවූ දේ ගැන ලොකු කතාවක් තිබෙනවා. ජනාධිපවරණ ජයග්‍රහණයනේ පසුව අපි පැරදුනු දවසේ සිට අපි විහිළුවට වගේ කතා කළා. ඒ වෙලාවේ ධනුෂ්ක කිවුවා මේ ටික එකතු කරලා පොතක් ලියමු කියලා. අපි ලියන්නම් ඔබතුමා අපිට උදව් කරන්න කියා කිවුවා. එදා සිට ලියූ පොත තමයි අද එළිදක්වනවා. ඒ නිසා මේ කාලය තුළ කටයුතු කළ ධනුෂ්කට මගේ ස්තුතිය පිරිනමනවා. සමහර කතා යටපත් වෙන්න තිබුණා. අපි කළ ඒ අවුරුදු හතරහමාරක අරඟලය ලෙහෙසි පහසු එකක් නොවෙයි. ප්‍රතිඵල එනවිට මහින්ද රාජපක්ෂ මහතා සමඟ අපි සිටියේ අත්තනගල්ලේ ගණන් කරන මධ්‍යස්ථානයේ. පාන්දර 4, 5 වනවිට අපි දැනගෙන සිටියා ඒ වනවිට අපි පරදිනවා කියා. අපි එතන සිටි කණ්ඩායම සමඟ බැසිල් රාජපක්ෂ මහතා මුණ ගැසෙන්න අරලියගහ මන්දිරයට ගියා. ඒ අනුව උදේ 6.00 වනවිට මහින්ද මහතා ඉන්න සිටි ස්ථානයට යනවිට 6.00 ට පෙර අරලියගහ මන්දිරයෙන් ඉවත් වෙන්න ඕන කියා පණිවුඩයක් ආවා.

අපි ඒ මහතා සමඟ ජනාධිපති මන්දිරයට ගියා. අපිත් ගියා. අපිට ලොකු සංවේදිත්වයක් තිබුණා. නමුත් මහින්ද මහත්තයා හිනාවෙන් සිටියා. රටක් බේරා ගත් නායකයාට වෙච්ච දේ ගැන ජනතාව කම්පාවෙන් සිටියා. ඊට පස්සේ දහවල් 12.00 ට පෙර ජනාධිපති මන්දිරයෙන් ඉවත් වෙන්න කියා පණිවුඩයක් ආවා. මහින්ද මහත්තයා හදපු බුදු පිළිම තිබුණා. මම ඇහුවා සර් මේ බඩුත් අරගෙන යනවා ද කියා. නමුත් ඒ කිසිවක් අරගෙන යන්නේ නැහැ කිවුවා. මේවා මට තෑගි හම්බ වුණු ඒවා. ඔහොමම තියන්න කිවුවා. එතුමා ඒ සියල්ල දාලා තංගල්ලට ගියා. එයින් පසුව කොළඹට පළමුවෙන්ම ආවේ මගේ නිල නිවාසයට. එතැන් සිට සිදුවූ මොහොතේ සිට අපිට තිබුණු අභියෝග දන්නවා. මහින්ද මහත්තයා ළඟ සිටි අය මහින්ද මහත්තයා දාලා ගිහින් මෛත්‍රීපාල මහතාත් සමඟ එකතු වුණා. අපි ළඟ සිටි අය දවස ගානේ එක එක්කෙනා අඩු වෙවී එතනට ගිය හැටි අපි දන්නවා. අපිට පක්ෂයක් නොමැතිව සිටි වෙලාවේ බැසිල් රාජපක්ෂ මහතා තමයි අපිට හුස්ම් ගන්න, දේශපාලනය කරන්න අවශ්‍ය පසුබිමක් නිර්මාණය කලේ. නමුත් එදා මහින්ද මහත්තයා පැරැදුනේ බැසිල් නිසා යැයි ඇතැමුන් කිවුවා. මහින්ද මහත්තයා පරද්දලා රට ගියා කිවුවා. ඒ වෙලාවේ මට දුරකතනයෙන් කතාකර කිවුවා මම ලංකාවේ හිටියොත් අත්අඩංගුවට ගන්නවා, හිරිහැර කරනවා ඒ නිසා ටික දවසකට රට යනවා.

පොඩ්ඩක් ගම්පහ බලාගන්න කිවුවා. මහින්ද මහත්යාට සිදුවුණු හිරිහැර අපි දන්නවා. පවුලේ අයට හිරිහැර කළා. සිර ගෙවල්වල දැම්මා. මඩ ගැසුවා. මහින්ද මහත්තයාගේ ප්‍රතිරූපය විනාශ කරන්න උත්සාහ කළා. කළගුණ දන්නා මිනිසුන් මහින්ද මහතා සමඟ සිටියා. ඔහුව අතහැරියේ නැහැ. එතුමාට ගහන්න ගහන්න ප්‍රතිරූපය ගොඩනැඟුණා. බැසිල් මහත්තයා මට කතා කරලා කිවුවා මම ලංකාවට එනවා කියලා. මම කිවුවා එන්න එපා තවම හිරිහැර වෙනවා කිවුවා. මේ දේවල් වනවිට මට එහේට වෙලා ඉන්න බැහැ මම එනවා කිවුවා. එදා අපි ගුවන් තොටට ගිහින් බැසිල් මහත්තයා කොළඹට ගෙනාවා. එතුමා මාස 6කට ආසන්න කාලයක් සිර ගෙදර සිටියා. අපි වැටුණු තැනින් ගොඩ ගන්නේ කොහොමද කියා එතුමා සිර ගෙදර සිට කල්පනා කළා. එතුමා කිවුවා මහින්ද මහත්තයා පැරැද්දුවා කියලා. එතුමා හිර ගෙදරින් එළියට පැමිණ මේ පක්ෂය හදන්න සූදානම් කළා. අපි පොහොට්ටුවෙන් වෙනම ඉල්ලන්න ගම්පහ අපිට දිනන්න පුළුවන් කිවුවා. මේ ජනතාව තමයි ඒ ශක්තිය ලබාදුන්නේ. මම ගම්පහ තනියම ඉල්ලන්න ඕන කිවුවා. අපි මැතිවරණයට ගියා. උදය හා මමයි අපේ ගෙදර සිට සර් අපි සතියක් ගුටි කමු මේ පක්ෂය බාර දෙන්න එපා කිවුවා. හැම තැනම අපේ අයට ගහනවා හැමෝම මට කතා කරලා කියනවා මේක බාරදෙන්න කියලා ඒ නිසා පක්ෂයේ සභාපතිකම බාරදෙමු කියලා මහින්ද මහත්තයා කිවුවා. මිනිසුන්ට හොඳක් වෙනවා නම් අපි බාර දෙමු කිවුවා. අපි සතියක් ගුටි කමු කිව්වත් අන්තිමටම අපි කතානාක නිල නිවෙසට ගිහින් මේක බාරදුන්නා.

එයින් පසුව පාර්ලිමේන්තු මැතිවරණයේදී ද අපි එක් ස්ථාවරයක සිටියා. අපි එකට යමු කියා බහුතරයක් කිවුවා. නමුත් මම දැනගෙන සිටියා මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මෙහෙම ගමනක් යන් බැහැ කියලා. කවදා හරි අපිට එතුමාගේ යටතේ ඉන්න වෙනවා කිවුවා. අපි මහින්ද දිනන්න අගමැතිකම දෙන්නේ නැහැ කිවුවා. මේ අයට ඒක මතක ඇති. අපි එදා තමයි වැටුණේ. ඒ නිසා මෛත්‍රී විශ්වාස කරන්න බැහැ කියා මම කිවුවා. අපි වෙනම ඉල්ලමු කිවුවා. අපි අද සතුටු වෙනවා. බැසිල් රාජපක්ෂ මහතාට කිවුවාම ගම්පහ ගැන විශ්වාසයක් තිබෙනවා. අවසානයේ දී අපිට අවස්ථාව ලැබුණා. ලංකාවේම බහුතර පළාත් පාලන මන්ත්‍රීවරු සංඛ්‍යාවක් පත්කරලා අපිට මැතිවරණය දිනන්න අපේ ශක්තිය පෙන්වන්න එය අවස්ථාවක් වුණා. ඊට පස්සේ ජනාධිපතිවරණය එනවිට තවත් මතවාද ආවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කරනවා කියා අපි කිවුවා. මේ සියලු දෙනාම අපි සමඟ එම ස්ථාවරයේ සිටියා. මහින්ද මහත්තයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කළ පසුව අපි සියලු දෙනාම එකතු වෙලා එකට සිට මැතිවරණය මෙහෙයවා මේ දිස්ත්‍රික්කය 365,000 කින් දිනෙව්වා. 2015 දී පැරැදුණු දිස්ත්‍රික්කය මේ මන්ත්‍රීවරු නිසා අපි දිනුවා. ඒ හයිය මහින්ද මහත්තයා වෙනුවෙන් දුන්නා. සන්ධානයක් ගහන්න හදනවිට මෙහි සම නායකයින් පත්කරන්න ගිය විට මම ඒකට විරුද්ධ වුණා. මහින්ද මහත්තයාට සම කරන්න මේ රටේ කිසිම නායකයෙක් නැහැ. මහින්ද මහත්තයා අසමසම නායකයා. එතුමා විතරයි සන්ධානයේ නායකයා වෙන්න පුළුවන් කියා මම කිවුවා.

අපේ අරඟලය තුළ අවසානයේ මහින්ද මහත්තයා නායකයා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී මහත්තයා සභාපති කළා. එයාට වටිනාකමක් නොමැති නිසා තමයි මම පඹයාගේ කතාව කිවුවේ. අද වනවිට අපිට මේ මැතිවරණයේ දී පොහොට්ටුවෙන් තරඟ කරන්න දැන් තීරණය කරන්න. සියලුම දිස්ත්‍රික් නායකයින් අද අත්සන් කළා. අපිව මහ පාරේ ඇවිද්දවනවා කියූ අය අද අපේ පක්ෂයෙන් තරඟ කරන්නත් එනවා. අපි පොහොට්ටුවෙන් සියලුම දිස්ත්‍රික්ක්වලට තරඟ කරනවා. මහින්ද මහත්තයාට ගහන්න ගහන්න් ප්‍රතිරූපය තවත් දිලිසෙනවා. තව තව ප්‍රතිරූපය වැඩි වෙනවා. පසුගිය කාලයේ රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන පහර දුන්නා. නමුත් ඒ අයට ඒවා සාර්ථක කර ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ තුළ ප්‍රබල සන්ධානයක් රටේ පොදු ජනතාව තුළ ගොඩනැඟුණා. ගහන්න ගහන්න ජනතාව එතුමන්ලා ආරක්ෂා කළා. ඒ නිසා නැවත මහින්ද යුගයක් ආරම්භ කරන්න හැකිවුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා හා පවුලේ සමඟියක්ම අපි දකිනවා. අද ගෝඨාභය මහත්තයා ආවා. මහින්ද මහත්තයා එනවිට නැඟිට්ටා. පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන්. එකිනෙකට ගරු කරන නායකයින් අද රටේ ඉන්නවා. මේ පසුපස ඉන්නේ බැසිල් රාජපක්ෂ මහතා. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු අපේ දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වෙනුවෙන් විශාල ශක්තියක් වී තිබෙනවා.

ඒ නිසා බැසිල් මහතා කරන ලද සේවයට මම හැමදාම ගරු කරනවා. අද අපිට දේශපාලනය කරන්න පක්ෂයක් පිහිටුවන්න කළ සේවය අගයනවා. ඒ නිසා මේ හැම දෙයක්ම කරනවිට දිස්ත්‍රික්කයක් හැටියට අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනගියා. ඉදිරි මැතිවරණය මේ රටේ තීරණාත්මක මැතිවරණයක්. මේ මැතිවරණයෙන් පසුව මේ ගැන කතා වනවාට වඩා අපිට ලොකු දේවල් කරන්න තිබෙනවා. මේක යටපත් වෙන්න හොඳ නැහැ. අවුරුදු හතරහමාරක අරඟලයේ අවසානය තමයි ඉදිරි මහා මැතිවරණය. රට ගැන හිතන්න පුළුවන් නායකයින් පත්කර ගන්න අපි කටයුතු කරනවා. මහින්ද මහත්තයා අත නොහැර ගිය පිරිසක් අපි සමඟ ඉන්නවා. ලක්ෂ තුන හමාරකට වැඩි ජයක් අරගෙන ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න පියවර ගන්න කියා ඉන්නවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,

ප්‍රසන්න රණතුංග මහතා ලංකා ඉතිහාසය වෙනස් කළ පුද්ගලයෙක්. මේ පොත කියවන්න ලැබුණොත් වීර පුරන් අප්පු දැක්වූ දායකත්වයට වඩා වැඩි දායකත්වයක් අපේ රටට ලබාදී තිබෙනවා. 1818 වසරේ දී වීර පුරන් අප්පු තමන්ගේ ජීවිතය බේරා ගන්න සමත්වුණේ නැහැ. නමුත් ප්‍රසන්න රණතුංග මහතා තමන්ගේ ජීවිතය බේරා ගන්න සමත්වුණා. අපේ රට විවිධ අවස්ථාවල පාවා දුන්නා. ඒ වගේම් අපේ මවුබිම 2015 වසරේ දී බටහිර රටවලට පාවා දෙන්න කටයුතු කළා. අපි දන්නා හදුනන අය තමයි එදා රට පාලනය කළේ. ඔවුන්ගේ කටින් ආවේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අභිමතයටයි. අපේ රටේ ෆෙඩරල් ව්‍යාවස්ථාවක් ඔවුන් කරලියට ගෙනාවා. ඔවුන් අපේ රටේ ඇතැම් සම්පත් විකුණන විට අපේ ජනතාව සතුටු කරවන උදාසීන මානසිකත්වයක් ඒ අයට තිබුණා. රණවිරුන් දඩයම් කළා. ලෝකයේ සියලු අධිරාජ්‍යවාදීන්ගේ සහාය ලබන අතරේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහාය ලැබුවා. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහාය ඇතිව මෙතෙක් ආණ්ඩු පිහිටුවා නැහැැ. ඒ නිසා 2015 වසරේ පෙබරවාරි 18 අපි නුගේගොඩ රැළිය සංවිධානය කළා. මෙය පුංචි රැළියක්.

මහින්ද මහත්තයා යළි ගෙන ආයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතැන සියියේ නැහැ. නිලා පැහැය මුසු වුණේ නැතිනම් මේ සටන දිනන සටනක් වෙන්නේ නැහැ. මේ නිසා අපිට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකා නිදිහස් පක්ෂය මේ වෙනුවෙන් එකතු කරගත යුතු වුණා. ඒ නිසා මේකට ඔවුන් එකතු කර ගන්න අපේ පාර්ලිමේන්තු සටන් සඟයන් මේ අරඟලය ක්‍රියාත්මක කළා. ඒ නිසා අපි ප්‍රසන්න රණතුංග මහතා මේ වෙනුවෙන් දායක කර ගත්තා. ඔහු ගැන අපිට තිබෙන්නේ ලොකු ගෞරවයක්. 1993 වසරේ සිට ඔවු බස්නාහිර පළාත් සභාවේ ඉන්නවා. ප්‍රසන්න මේ රටේ දැවැන්ත දේශපාලන චරිතයක්. මේ අවස්ථාවේ තිබෙන අවධානම ගණන් හදන්න තරම් තීක්ෂණ බුද්ධියක් ඔහුට තිබුණා. මම පළාත් සභා විරෝධියෙක් විදියට පැමිණ පළාත් ඇමැතිවරයෙක් වුණා. නමුත් ප්‍රසන්න රණතුංග මහතා මාව රකිමින් මට ගුරු හරුකම් කියා දුන්නා. ඔබට විවිධ රටවල විවිධ උපාධි තිබෙනවා. නමුත් උඩුගම්පොල ප්‍රසන්න උපාධියත් තිබෙන්න ඕන කියනවා. ඒ තරම්ම ප්‍රසන්න රණතුංග මහතා ඇඅසුරු කළයුතු වෙනවා. ගැඹුරු දේශපාලන අවබෝධයක් ඔහු සතු වෙනවා.

ප්‍රසන්න රණතුංග මහතා තමයි මිනිහා කියා අපි සිතුවා. මේ සටනට හොඳම පුද්ගලයා කියා අපි සිතුවා. ඔහු එකතු වුණොත් මේ සටන සාර්ථකයි කියා කිවුවා. මම මේ අවස්ථාවේ රට බේරා ගන්න සටනකත් කරන්න වුණා. ඒ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග මහතා මේ සටනේ සිටිය යුතුයි කිවුවා. මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට ගේන්න ඕන කියන මතයේ ඔහු ඉන්නවා. මම එක්තරා අවස්ථාවක මහ ඇමැතිතුමා හමුවන්න ඕන කිවුවා. ඔහු කමිසයත් නැතිව ගෙදර හිටියේ. කෑම කකා අපි මේ ගැන කතා කළා. මහින්ද මහත්තයා බලෙන් හරි ගෙනත් රට ආරක්ෂා කරන මතයේ අපි සිටියා. ඒ මහතා එදා විවිධ කණ්ඩායම් සමඟ සාකච්ඡා කළා. එක්තරා කාන්තාවක් විවිධ ප්‍රකාශ කළා. මන්ත්‍රීවරියක් පැමිණ මහින්ද මහත්තයාටා කළ අපරාධය ගැන කණගාටුවෙන් කතා කළා. බහුතරය මහින්ද මහත්ත්යා යළි ගෙන එන්න් අවශ්‍යයි කියන මතයේ විශාල පිරිසක් සිටියා. ප්‍රසන්න රණතුංග මහතා එදා කිවුවේ විමල් වීරවංශ මහත්තයාත් මේකට සම්බන්ධ කර ගනිමු කිවුවා. පසුවදා අපි විමල්, මම, ප්‍රසන්න හමුවුණා.

අවසානයේ අපි සැලැස්ම්ක් සකස් කර ගත්තා. බස්නාහිර මන්ත්‍රීවරු එකතුකර ගනිමු කිවුවා. ඒ අය මේ සටනට එකතුකර ගත්තා. පසුව අපි නුගේගොඩ රැළිය සංවිධානය කළා. ඒ අනුව නුගේගොඩට විශාල ජනකායක් එකතුකර ගන්න හැකිවුණා. 2015 වසරේ පෙබරවාරි 18 අපේ රැළිය ආරම්භ වී ටික වෙලාවක් යනවිට විශාල සෙනඟක් සිටියා. එක්තරා අවස්ථාවක අපේ කෙනෙක් මේ සටනට එක් වෙනවා කියා ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිස පිළිගත්තා. ජනතාවට අවශ්‍ය වුණේ තමන්ගේ නායකයන් වේදිකාවට එනවා දකින්නයි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එකතු වුණේ ප්‍රසන්න රණතුංග මහතා පමණයි. එයින් පසුව අපි මහනුවර, රත්නපුර රැස්වීම් සංවිධානය කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ රටට යම් යහපක් වෙනවා නම් එහි උල්පත ප්‍රසන්න රණතුංග මහතා වෙනවා. මේ ගමන අතිශයින්ම සුබ දායක වුණේ නැහැ. මේ ගමන නවතන්න අධිරාජ්‍යවාදීන් විවිධ බාධා එල්ල කළා. ප්‍රසන්න රණතුංග මහතා සහ මොරින් රණතුංග මහත්මිය එක දවසක් හෝ කූඩුවට දාන්න යහපාලන ආණ්ඩුව කටයුතු කළා.

ඒ අනුව මේ සියලු දෙනා වෙනදාට වඩා මේ සටනට එකතු වුණා. අපේ පවුල පුංචි කලයේ ්සිට එකට තියන්න අම්මා ලොකු උත්සාහයක් ගත්තා. නමුත් අපේ රට දෙකඩ වෙනවා නම් අම්මාගේ කඳුළු ගැන විතරක් මට හිතන්න බැහැැ කියා ප්‍රසන්න රණතුංග මහතා මට කිවුවා. එතුමා කිවුව ආකාරයටම පවුල දෙකට බෙදුණා. නමුත් අද මේ රට සංවර්ධනය කරා යනවිට ප්‍රසන්න රණතුංග මහතාගේ මෑණියන් කොතැනක හෝ සිට සතුටු වෙනවා ඇති. ගම්පහ සමස්ත ජනතාවගේ හදවත් තුළ ඒ සටහන රන් අකුරියන් ලියවෙනවා. සිංහලයාටා මතක තිබෙන්නේ සති දෙකයි කියා වෙළුපිල්ලේ ප්‍රභාකරන් කිවුවා. නමුත් අපි එළඹෙන අප්‍රේල් 25 වනතුරු ජනතාව නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.

 

හිටපු රාජ්‍ය ඇමැතිවරුන් වන නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රදීප් අනුරකුමාර

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here