දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන වේදනාවන්ට සහ ඔවුන් මුහුණ දී සිටින මානසික තුවාලවලට බලපෑම්කාරී දේශපාලනය හෝ වරප්‍රසාදවලින් ඔබ්බට ගිය ‘ආදරය’ පමණක් සැබෑ ඖෂධය විය හැකි බවත්, අතුරුදහන් වූවන්ගේ පවුල්වල කඳුළු පිසදමා සාධාරණ විසඳුමක් ලබා දීමට ජාතික ජන බලවේග රජය කැපවීමෙන් කටයුතු කරන බවත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.
ඉදිරි අගෝස්තු 30 වැනිදාට යෙදෙන බලාත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) මගින් සංවිධානය කරන ලද ජාතික සැමරුම් උත්සවය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා ඉහත අදහස් පළ කළේය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
2026 ජූලි 31 වන විට OMP වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි අතුරින් පැමිණිලි 16,966 ක් පරීක්ෂණයට ලක් කළ හැකි ඒවා ලෙස හඳුනාගෙන මූලික පරීක්ෂණ ආරම්භ කර ඇත.
තවද, පැමිණිලි 11,000 කට ආසන්න ප්‍රමාණයක් සඳහා ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් පරීක්ෂණ ප්‍රමාද වී තිබුණි.
අපගේ රජය බලයට පත්වීමෙන් පසු, 2025 වසරේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් මේ සඳහා රුපියල් මිලියන 375 ක මුදලක් වෙන් කළේය. මෙයට සමගාමීව පරීක්ෂණ කණ්ඩායම් 25 ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලදී.
ඒ අනුව, 2026 ජූලි මස අවසන් වන විට ඉතිරිව තිබූ පැමිණිලි අතුරින් පැමිණිලි 3,000 කට අදාළ මූලික පරීක්ෂණ අවසන් කර ඇත. සෙසු පැමිණිලි සම්බන්ධ කටයුතු ද කඩිනම් කර තිබේ. 2027 වසර අවසන් වීමට පෙර ලැබී ඇති සියලුම පැමිණිලිවල මූලික පරීක්ෂණ අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.
මෙතෙක් සිදුකරන ලද මූලික පරීක්ෂණවලින් සිද්ධීන් 1,594 ක් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
පවුල්වල නීතිමය සහ පරිපාලනමය ගැටලු විසඳීම සඳහා 2026 ජූලි 31 වන විට අතුරුදහන් වීමේ සහතික (Certificate of Absence) 2,719 ක් සහ මරණ සහතික (Certificate of Death) 409 ක් ලබා දී ඇත.
අතුරුදහන් වූ පුද්ගලයින් 31 දෙනෙකු සම්බන්ධයෙන් තහවුරු කළ අවසාන තොරතුරු සොයාගෙන ඇත.
පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි එම තොරතුරු අදාළ පවුල් වෙත පමණක් දැනුම් දී තිබේ.
තවද, 5,427 දෙනෙකුට වන්දි ගෙවීම් ලබා දීම සඳහා වන්දි ගෙවීමේ කාර්යාලය වෙත යොමු කර ඇත. මීට අමතරව මානසික හා සමාජීය සුභසාධන ආධාර, අස්වැසුම වැඩසටහන, නිවාස පහසුකම්, අධ්‍යාපනික අවස්ථා, වෘත්තීය පුහුණු සහ ස්වයං රැකියා ආධාර වැනි විවිධ වැඩසටහන් සම්බන්ධයෙන් ද පියවර ගනිමින් සිටී.
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් ද ඇතුළත් විද්වත් කමිටුවකින් යෝජනා ලබාගෙන, ඉහත සඳහන් සියලු සහනයන් ඇතුළත් ඒකාබද්ධ සහන පැකේජයක් හඳුනා ගැනීමට සහ හඳුන්වා දීමට ද සැලසුම් කරමින් පවතී.
මේවා අවසාන තීරණ නොවේ. මේවා අපගේ ඉදිරි ගමනේ ඇතැම් වැදගත් අදියරයන් පමණි. තවමත් අප ඉදිරියේ විශාල වගකීමක් ඇත. එම වගකීම අප අත්නොහරින්නෙමු.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීම සඳහායි ජනතාව අපට ජනවරම ලබා දුන්නේ. එම ජනවරම අප වගකීමෙන් යුතුව භාවිත කරමු.
එසේම, අතුරුදහන් වූවන්ගේ සහ ඝාතනයට ලක්වූවන්ගේ වේදනාව යම් නිශ්චිත ප්‍රදේශයකට පමණක් සීමා වූවක් නොවන අතර, එය මුළු රටේම ජනතාවගේ පොදු දුකකි.
1971 සහ 1987-89 කාලවලදී දකුණු ලංකාවේ තරුණයින් 70,000 කට වැඩි පිරිසක් ඝාතනය වූ බවත්, දහස් ගණනක් අතුරුදහන් වූ බවත් මතක් කළ අමාත්‍යවරයා, වත්මන් රටේ නායකයෙකු වන සහෝදර අනුර කුමාර දිසානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ සොහොයුරා ද 1988 දී අතුරුදහන් වූ බවත්, අදටත් ඔහුගේ මෑණියන් තම පුතා පෙරළා පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් බෝධි පූජා පවත්වන බවත් පෙන්වා දුන්නේය. දකුණේ හමුදා සෙබළුන්ගේ මව්වරුන් තම දරුවන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින්නාක් මෙන්, උතුරු-නැගෙනහිර ද දහස් ගණනක් තරුණයින් අත්අඩංගුවට ගැනීමෙන් හෝ භාරදීමෙන් පසුව අතුරුදහන් වී, ඔවුන්ගේ ඡායාරූප අතැතිව පාරවල සහ ශීතලෙහි මව්වරුන් අරගල කිරීම තමන්ට දරාගත නොහැකි වේදනාවක් ගෙනදෙන බව අමාත්‍යවරයා සංවේදීව පැවසීය. අතීතයේ ඝාතන, වධහිංසා සහ සිරගෙවල් ජීවිතය සෘජුවම අත්විඳි පිරිසක් ලෙස මෙහි සිටින ජනතාවගේ වේදනාව සහ කඳුළු අපට සම්පූර්ණයෙන්ම වටහාගත හැකි බව ද පැවසීය.
රජය ක්‍රියාත්මක කරමින් පවතින සමාජ සුභසාධන වැඩසටහන් ගැන කතා කළ අමාත්‍යවරයා, සෙන්චෝලයි නිවාසයේ පීඩාවට පත් දරුවන් අතුරින් 18 දෙනෙකු තෝරාගෙන රුපියල් ලක්ෂ 50 ක් වටිනා නිවාස ව්‍යාපෘති භාරදී ඇති අතර, පවුල් අහිමි වූ දරුවන්ට ද ආරක්ෂාව තහවුරු කර ඇති බව පැවසීය.
එලෙසම පලාලි සහ කුරුම්බසිට්ටි ප්‍රදේශවල කෘෂිකාර්මික හා පදිංචි ඉඩම් වහාම නිදහස් කරන අතර, ජනතාවට එහි ගොස් නිවාස ඉදිකර ගැනීම සඳහා පූර්ණ අවසරය ලබා දීමට නියමිතය. තවද, 1981 සහ 1988 වසරවල පවරාගත් ඉඩම් සඳහා වත්මන් වෙළඳපල වටිනාකමට අනුව වන්දි ලබා දෙන අතර, එම ඉඩම් භාවිත කිරීමට නොහැකි වූ කාලය සඳහා අමතර වන්දියක් ලබා දීමට ද ජනාධිපතිවරයා නියෝග කර ඇති බව මතක් කළේය.
එළඹෙන වසරේ අවශ්‍ය වන නිවාස 13,000 ම සම්පූර්ණයෙන් සාදා නිම කර “නැවත පදිංචිකිරීමේ නිවාස” යන නාමයම රටේ ඉතිහාසයෙන් ඉවත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවට සහතික විය.
අතීතයේ බලයේ සිටියදී ඉඩම් නිදහස් කිරීම ගැන කතා කළහොත් දකුණ ඇවිලෙනු ඇතැයි පවසමින් නිහඬව සිටි ‘තමිල් අරසු කච්චි’ පක්ෂයේ සුමන්තිරන් වැනි නායකයින්, දැනට රජය මගින් ඉඩම් නිදහස් කිරීම තහවුරු කර ඇති පසුබිමක විරෝධතා ප්‍රකාශ කරමින් දේශපාලන නාට්‍ය රඟදක්වන බවට තදින් විවේචනය කළේය. ජනතාව තවදුරටත් මෙවැනි දේශපාලනඥයන්ගේ බෝනික්කන් බවට පත් නොවනු ඇති බව ද පෙන්වා දුන්නේය.
වත්මන් ජාතික ජන බලවේග රජය ජනාධිපති මන්දිර, සුඛෝපභෝගී ජීවන වරප්‍රසාද, හෙලිකොප්ටර් ගමන්, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ අමාත්‍යාංශවල අනවශ්‍ය වියදම් පාලනය කර, ජනතාව බදු ලෙස ගෙවන මුදල් සම්පූර්ණයෙන්ම ජනතාවගේ සංවර්ධනය උදෙසාම යොදවන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, දකුණු ලංකාවේ සිදු වූ සූරියකන්ද සිසුන්ගේ සමූහ මිනීවළ වැනි සිද්ධීන් තවමත් සම්පූර්ණයෙන් පරීක්ෂණ කර නොමැති වුවද, උතුරේ සෙම්මනි හි වළදමා ඇති ජනතාවගේ ශේෂයන් සොයා ගැනීමට අවශ්‍ය සියලු මුදල්, ආරක්ෂක සහ මානව සම්පත් පහසුකම් අප රජය මුල් වී ලබා දී ඇති බව පැවසීය. දෙමළ ජනතාවගේ හදවතේ තුවාලවලට ආදරය සහ සාධාරණත්වය පමණක් ඖෂධය විය හැකි බව පැවසීය.
මෙම උත්සවයට සමගාමීව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මගින් අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් උදෙසා දියවැඩියා පරීක්ෂණ, ඇස් පරීක්ෂණ ඇතුළු විවිධ වෛද්‍ය සහ සමාජ සේවාවන් ඇතුළත් ජංගම සේවා වැඩසටහන් ද සංවිධානය කර තිබුණි. මෙම ජංගම සේවා මධ්‍යස්ථාන ද අමාත්‍යවරුන් නිරීක්ෂණය කළහ.
මෙම උත්සවයට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, දිස්ත්‍රික් ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංගුමරන්, ජේ. රජීවන්, ශ්‍රී භවානන්දරාජා, රජයේ නිලධාරීන් සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
ජී. ක්‍රිෂාන්තන්
ධීවර ,ජලජ හා සාගර සම්පත් ඇමතිතුමාගේ





