මීගමුවේ සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ හැමිල්ටන් ඇල ජැටිය මේවනවිට කිසිවෙකුගේ පාලනයෙන් තොර තැනක් බවට පත්ව ඇත.
ඉතා ඉහල වාණිජ වටිනාකමක් සහිත ස්ථානයක පිහිටි මෙම ජැටිය ඇතුළු භුමිය කාලයක් තිස්සේ පුද්ගලික ව්‍යාපාරිකයෙකුට නගර සභාව මගින් රුපියල් 50000 ක මාසික බදු කුලියකට ටෙන්ඩර් කර ලබාදී තිබී ඇත.
ටෙන්ඩර් කාලය අවසන් වීමත් සමග යලි මහානගර සභාවේ පාලනයට ගෙන ඇති ජැටිය නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා මේ වනවිට ජැටියේ ගැබුර අඩුවී බෝට්ට්ටු ජැටිය අසලට ගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.
බිල් පත් නොගෙවීම නිසා ජැටියට සපයා තිබු ජලය සහ විදුලියද විසන්ධිකර ඇත.
ඉතා ඉහල වාණිජ වටිනාකමක් ඇති ස්ථානයක පිහිටා ඇති මෙම ජැටිය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් විසින් මීගමුවේ කලපුව නැරබීම සදහා (බෝට්ටු සංචාර )සදහා පැමිණෙන ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාවක් ඇත.
ජැටිය සහ ජැටියෙන් ක්‍රියාත්මකවන සංචාරක බෝට්ටු සේවයත් නියාමනය කරමින් නගර සභාවට මාසිකව හොද අදායමක් ලබාගත හැකි ලෙස මෙවැනි ස්ථාන අදට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීම සදහා පියවර ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත්කිරීම මෙන්ම සැලසුම් ඉදිරිපත් කිරීම සියලුම නාගරික මන්ත්‍රීවරුන්ගේ වගකීමකි.





