ෂෙරී ඇචෙසන්: බ්‍රිතාන්‍යයේ ලාංකික ‘ප්‍රබල කත’ ශ්‍රී ලාංකික කාන්තාවන් ගැන කී අදහස්

-

“ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකට ම ජීවත් වීමට වඩාත් හොඳ රටක් සහ සමාජයක් නිර්මාණය කරන්න නම් ලාංකික කාන්තාවන් පෙරට ආ යුතුයි,” බීබීසී සිංහල සේවය සමග මෙලෙස අදහස් දැක්වූයේ, ශ්‍රී ලංකාවේ ඉපිද හය හතර නොතේරෙන බිළිඳියක ලෙස බ්‍රිතාන්‍යයට ගොස් එහි “බලවත් කාන්තාවක” බවට පත්ව සිටින ෂෙරී ඇචෙසන්ය.

ඇය කාන්තාවන් සවිබල ගැන්වීමටත්, තාක්ෂණික ක්ෂේත්‍රය තුළ කාන්තා දායකත්වය ඉහළ දැමීමටත් දායක වූ සුවිශේෂී කාන්තාවකි.

ෂෙරී ඇචෙසන් (Sheree Atcheson) කාන්තාවන්ට සහ තාක්ෂණික ක්ෂේත්‍රයට කළ මෙහෙය සලකමින් ඇය BBC Make It: Super Assembly නමැති වැඩසටහනට ද තෝරා ගනු ලැබ තිබේ.

ඇය පවසන ආකාරයට, එම වැඩසටහනේ සම්පත් දායකයෙකු ලෙස සහභාගි වූ “පළමු අඳුරු සමක් සහිත කාන්තාව” ෂෙරී ඇචෙසන්ය.

ශ්‍රී ලංකා සම්භවය

1991 පෙබරවාරි 28 වන දා ෂෙරී ඇචෙසන් ශ්‍රී ලංකාවේදී උපත ලැබූ ඇයට නම් තබා තිබුණේ, නිරූෂිකා යනුවෙනි. මෙලොව එළිය ලබා දින 15කට පසු ඇය අයර්ලන්ත ජාතික යුවළක් වෙත භාර දී තිබිණ.

Sheree Atcheson/TwitterImage copyrightSHEREE ATCHESON/TWITTER

පසුව ඇය තමන් හදා වඩා ගත් අයර්ලන්ත දෙමාපියන් යටතේ අධ්‍යාපනය ලබා එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත් ම කාන්තාවන් 40 දෙනා අතරට එක් වීමට තරම් ප්‍රබල විය.

ෂෙරී ඇචෙසන්, බ්‍රිතාන්‍යයේ ඉන්ටර්නෙට් ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය නිර්මාණය කිරීම ඇතුළු විශේෂ පරිගණක තාක්ෂණික කාර්යයන් ගණනාවකට දායකත්වය ලබා දී තිබේ.

ඇය අවස්ථා රැසකදී ලෝක අර්ථීක සමුළුව අමතා ඇති අතර, කාන්තාවක ලෙස මේ වන විට සිය ක්‍රියාකාරීත්වය සහ ශ්‍රී ලංකාවේ කාන්තාව ගැන දරන අදහස් පිළිබඳව බීබීසී සිංහල සේවය සමග ඇය මෙසේ අදහස් පළ කළාය.

ශ්‍රී ලාංකික කාන්තාව

“බ්‍රිතාන්‍යයෙයි ශ්‍රී ලංකාවෙයි සංස්කෘතීන් ගොඩක් වෙනස්. ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියට තල්ලු කිරීම ඉතා අපහසුයි. ඒත් මට කියන්න තියෙන්නේ, ශ්‍රී ලාංකික කාන්තාවනි, ලෝකය වෙනස් කිරීම සඳහා ඔබ අත්‍යවශ්‍යයි,” ෂෙරී ඇචෙසන් පැවසීය.

ඇය පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වැනි ආයතනවල සේවය කරන විද්වත් කාන්තාවන් ඉදිරියට පැමිණ අනෙක් කාන්තාවන්ට ආදර්ශයක් සැපයිය යුතු බවය.

“ඔබට සයිබර් අවකාශය භාවිත කළ හැකි නම් ඒ මගින් ඔබට ගෝලීය ප්‍රජාව වෙත පිවිසෙන්න පුළුවන්. ඔවුන් ඔබේ හඬ ලෝකය වෙත ගෙන යාවි,” ෂෙරී, ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නීය.

‘බ්‍රිතාන්‍යයේ ප්‍රබල කත’

බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ උසස් මට්ටමක සිටින ෂෙරී, 2018 වසරේදී එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත් ම කාන්තාවන් 40 දෙනා අතරට ඇතුළත් කර තිබිණි.

Sheree Atcheson/FacebookImage copyrightSHEREE ATCHESON/FACEBOOK

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රබලත්වයට පැමිණීම දක්වා වූ ගමන් මග පිළිබඳව ඇය බීබීසී සිංහල සේවය සමග පළ කළේ මෙවන් අදහසකි.

“මම ඇත්තට ම මගේ ජයග්‍රහණ පිළිබඳව ගොඩක් සතුටු වෙනවා. ඒක මට ආඩම්බරයක්. මම වගේ වෙනත් අයට නොලැබෙන ආකාරයේ අවස්ථා සහ වරප්‍රසාද මට ලැබුණා. ඒ සියල්ල ලැබුණේ, මම මගේ වෘත්තිය වෙනුවෙන් කළ කැප කිරීම් නිසයි. මගේ වගකීම තමයි වෙනසක් කිරීම.”

ෂෙරී ඇචෙසන් මේ වන විට එක්සත් රාජධානියේ Deloitte සමාගමේ තාක්ෂණික කටයුතු භාර කළමනාකාරිනිය ලෙස සේවය කරයි. ඒ අතර, ඇය ලෝකයේ විවිධ රටවල තාක්ෂණික ක්ෂේත්‍රයේ ආදර්ශ චරිත ලෝකයට හඳුන්වා දෙමින් කාන්තාවන් සවිබල ගන්වමින් සිටින්නීය.

තවත් කියවන්න:

Sheree Atcheson/FacebookImage copyrightSHEREE ATCHESON/FACEBOOK

කරුණු 5ක්

මේ අතර, කාන්තාවන් තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉදිරියට යාම සඳහා අනුගමනය කළ යුතු කරුණු 5ක් පිළිබඳව ෂෙරී ඇචෙසන් බීබීසී උතුරු අයර්ලන්ත සේවය ඔස්සේ අදහස් පළ කර තිබුණි.

එම වීඩියෝව පහත දැක්වේ.

ෂෙරී ඇචෙසන් පවසන පරිදි තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට අවශ්‍ය කාන්තාවන් අනුගමනය කළ යුතු කරුණු 5 මෙසේය.

  1. නොබියව නැගී සිට හඬක් නැගීම
  2. සාධනීය චින්තනය
  3. පළපුරුද්දක් ලැබීම
  4. නිරන්තරයෙන් ප්‍රශ්න කිරීම
  5. සුදුසු උපදේශකයෙකුගේ සහය ගැනීම

ඇයගේ අනාගත අපේක්ෂාව වී ඇත්තේ, සිය දායකත්වය තාක්ෂණික ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගෙන යාමය.

“මට මගේ අවකාශය තුළ මගේ ක්ෂේත්‍රයේ විශාල බලපෑමක් කරන්න පුළුවන් වුණා. ඒක තවදුරටත් ඉදිරියට ගෙන යන ගමන් එය වෙනත් ක්ෂේත්‍රවලටත් ප්‍රසාරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මම මගේ වටා ඉන්න ලෝකයේ ජනතාව වෙනුවෙන් මගේ හඬ පාවිච්චි කරනවා.”

BBCSINHALA

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here